කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ සීයකට වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහායෙන් ව්‍යාජ ලේඛන සකස් කර විකුණා ඇති කාන්තාවක් මෙහෙයවන හොර කල්ලියක ජාවාරම් කරුවෙකු ඊයේ (15) පෙරවරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
කුලී පදනම මත ලබා ගෙන ඇති පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති හොන්ඩා වර්ගයේ කාරයකට හා ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයිති වැගන් ආර් රථයකට ව්‍යාජ ලේඛන සකස් කර රන්පොකුණගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ සීයකට විකුණා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා එම හොර ජාවාරම්කාර පුද්ගලයා නිට්ටඹුව දංගොල්ල වත්ත ප්‍රදේශයේ දී එසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
මෙය රටපුරාම කර ගෙන යන හොර ජාවාරමක් බවත් හොර ජාවාරම මෙහෙය වනු ලබන්නේ කාන්තාවක් බවත් අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඇතුළු එම කල්ලියේ සියලු දෙනා ජාතික හැඳුනුම්පත් පත් ඇතුළු සියලු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිඝණක පද්ධතියද වෙනස් කර හොර වාහන ජාවාරම කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
පැමිණිල්ලට අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන ඇති බවත් තවත් වාහන ගණනාවක් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවත් පොලීසිය කීය.
හොර කල්ලිය මෙහෙයවන කාන්තාව ඇතුළුව අනෙක් ජාවාරම් කරුවන් සියලු දෙනා සැගවී සිටින නමුත් ඔවුන් අද හෙටම අත් අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලීසිය සඳහන් කළේය.
නීත්‍යානුකුල වාහන හුවමාරු කිරීම් වශයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරිගණක පද්ධතිය තුළ පෙන්නුම් කරන බවත් එම කාර්යාලය තුළ මෙම හොර ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔවුන් ද අත් අඩංගුවට ගැනීම සදහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බවද පොලීසිය කියයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ මෙහෙය වීම යටතේ එහි උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.වීරසිංහ,පොලිස් සැරයන් වරුන් වන ඇස් ඒ ඇස් ඇල් ගුණසේකර (66319)හා කේ.පී ගුණරත්න(10769) යන මහත්වරු ප්‍රමූඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීමට සහභාගි වූහ.