Home » කුරුණෑගල ගිනිතැබීම් වැඩි වෙයි

කුරුණෑගල ගිනිතැබීම් වැඩි වෙයි

by mahesh
August 16, 2023 1:00 am 0 comment

කුරුණෑගල - කුමාරි දිසානායක

දැඩි පෑවිල්ල සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිනි තැබීම් වැඩියෙන් වාර්තා වන බවත් මේ පිළිබඳව දැඩි අවධානයට ලක් කර ජනතාව හිතාමතා කරන මේ ගිනිතැබීම් වහා නවතා දමන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව ද ගිනි තැබීම්වලට සම්බන්ධ අය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඒ හා සම්බන්ධ නිලධාරීන්ගෙන් ද අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටී.

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ගිනි ගැනීම් පිළිබඳව සිද්ධි දිනපතාම වාර්තා වන බවත් ඒවාට ආපදා කළමනාකරණ ආයතනය විදියට මැදිහත්වීමට සිදුව ඇති බවත් අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන්ම මේ සඳහා විශාල ලෙස ඉන්ධන පිරිවැයක් වාහන සහ සේවක පිරිවැයක් යොදවාගෙන ගිනි මැඬලීමට කටයුතු කිරීමට සිදුව ඇති හෙයින් මේ පිළිබඳව ජනතාවගේ දැඩි අවධානය යොමු විය යුතු යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

දැනටමත් බොහෝ ජලාශ සිඳී යමින් පවතින බැවින් ගිනි නිවීමට ජලය ලබාගැනීමේ දුෂ්කරතාවක් පවතින බැවින් දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව මේ වන විටත් නිලධාරීන් රැස්කරවා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.

දැනට ගිනි තැබීම්වලින් වැඩිම සිද්ධි වාර්තාවී ඇත්තේ පොල්පිතිගම ප්‍රදේශයෙන් බවත්, ඒ අනෙකුත් ප්‍රදේශවලින්ද ගිනි තැබීම් විටින්විට වාර්තා වන බව අනාවරණය කළේය.

උග්‍ර ජල හිඟයක් ගිරිබාව, මහව, ගල්ගමුව, ඇහැටුවැව, පොල්පිතිගම ආදී ප්‍රදේශවලින් වාර්තා වන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. ඒ ඒ ප්‍රදේශවල පවතින දැඩි ජල හිඟය විසඳීම සඳහා ජලය බෙදා හැරීම ආදී අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT