Home » කුඩ්ඩාගේ ගෙදර ලැගුම්ගත් කොස්තාපල්ට වැඩ වරදී

කුඩ්ඩාගේ ගෙදර ලැගුම්ගත් කොස්තාපල්ට වැඩ වරදී

කන්කසන්තුරේ පුහුණු පාඨමාලාව හදාරන අතර අහංගම ඇවිත්

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, ගාල්ල එස්. දීයගහගේ

මත්ද්‍රව්‍ය සඟවා ඇතැයි කියනු ලබන නිවසක් පරීක්ෂා කිරීමේ දී එම නිවසේ රැඳී සිටි පොලිස් කොස්තාපල්වරයකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගෙන තිබේ.

මිදිගම, ගුරුබැබිල හන්දියේ පිහිටි නිවසක මත්කුඩු සඟවා ඇතැයි ලද තොරතුරකට අනුව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙම නිවස පෙරේදා පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී නිවෙස් හිමියා එම නිවසේ සිට නැත. එහෙත් නිවසේ කාමරයක සැක කටයුතු පුද්ගලයෙකු රැඳී සිටි බව පොලීසිය කියයි. එම කාමරයේ තිබුණු ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ පොලිස් නිල ඇඳුමක්, පොලිස් ක්‍රීඩා ඇඳුමක්, පොලිස් හිස් වැසුමක්, පොලිස් නිලධාරීන් පලදින සපත්තු ජෝඩුවක්, පොලිස් බඳ පටියක්, පිස්තෝල රඳවනයක් ඇතුළු පොලීසියට සම්බන්ධ භාණ්ඩ රැසක්ම තිබී ඇත.

මේ සම්බන්ධයෙන් කාමරයේ සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා පොලිස් නිලධාරියෙක් බවත් එම ඇඳුම් තමාට අයත් බවත්ය.

අනන්‍යතාව පරීක්ෂා කිරීමේදී ඔහු පොලිස් නිලධාරියකු බව තහවුරු වී තිබේ. නිවෙස් හිමියා තමාගේ මිතුරෙක් බැවින් එහි පැමිණි බව ඔහු පවසා ඇත.

මෙම කොස්තාපල්වරයා කොඩිකාමම් පොලීසියේ සේවයේ නිරතව සිටින නිලධාරියකු බවත් ජුලි 31 වෙනිදා සිට ජූලි 26 වෙනිදා දක්වා කන්කසන්තුරයේ පොලිස් සේවාස්ථ පුහුණු ඒකකයේ නඩු මෙහෙයැවීම් සම්බන්ධයෙන් පුහුණු පාඨමාලාවක් සඳහා ඔහු සාමාන්‍ය පොලිස් රාජකාරිවලින් මුදාහැර තිබී ඇති බවත් වැඩිදුර විමර්ශනයේදී පෙනී ගොස් ඇත. එසේ පාඨමාලාවක අනුයුක්තකර සිටි මෙම නිලධාරියා මිදිගම පැමිණිම දැඩි සැකයකට තුඩුදුන් බැවින් ඔහු විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවටගත් බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.

මෙම කොස්තාපල්වරයා කිතුල්ගල පදිංචිකරුවෙකි. ඔහු කිතුල්ගල නොගොස් මෙහි පැමිණිම ද සැකයට තුඩුදී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT