Home » ගාලු පාරේ යතුරුපැදි රේස් පැද්ද 4 ක් රිමාන්ඩ්

ගාලු පාරේ යතුරුපැදි රේස් පැද්ද 4 ක් රිමාන්ඩ්

දින පහකදී මරණ 2යි - පොලිසිය අධිකරණයට පවසයි

by mahesh
August 16, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

පාණදුර පරණ ගාලුපාරේ යතුරුපැදි රේස් පැදීමට සූදානම්ව සිටි අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන පාණදුර උතුර පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් සිවුදෙනෙකු ලබන අගෝස්තු 23දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස පාණදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා පෙරේදා (14) නියෝග කළේය.

පහළ ඉදිබැද්ද ප්‍රදේශයේ පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ දිලීප් නුවන් කුමාර, ඉහළ ඉදිබැද්ද සේවා පටුමගේ පදිංචි සායක්කාරගේ ශෙහාන් දිල්රුක් මධුමාල්, කටුබැද්ද , දේවාල පාරේ පදිංචි වන්නකුවත්ත වඩුගේ සචින් ප්‍රියංග ප්‍රනාන්දු සහ ඉදිබැද්ද සුධර්මාරාම පාරේ පදිංචි තොරිය හෙරවලාගේ පටබැඳි දොන් මල්ෂාන් ප්‍රනාන්දු නමැති සිවුදෙනෙකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදි.

2023 අගෝස්තු මස 14 වැනිදා අලුයම පාණදුර පරණ ගාලු පාරේ යතුරුපැදි තරගයකට සූදානම්ව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ අත්සනින් බී වාර්තාවක් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. පසුගිය සතිය තුළ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරුවලට ලක්ව පාණදුර සහ වාද්දුව ප්‍රදේශයේදී මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේය. මෙම නඩුව ලබන අගෝස්තු 23දා යළි කැඳවීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT