මහියංගණය පොලිස් බල ප්රදේශයට අයත් 18 කොලනියේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (14) දින පස්වරුවේ සොයා ගත් බව මහියංගණය පොලිසිය පැවසීය.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන 18 කොලනිය, මහියංගණය පදිංචි හේරත් මුදියන්සේලාගේ ඉන්ද්රානි නමැති එක්දරු මවකි. පොලිසිය සඳහන් කළේ, ඇගේ 49 හැවිරිදි ස්වාමිපුරුෂයා වැලිමඩ අධිකරණයේ ආරක්ෂක නිලධාරියකු ලෙස රාජකාරී කරන බවයි. මෙම කාන්තාව සහ දියණිය කුලී පදනම මත මෙම නිවෙසේ ජීවත් වන බවත්, දිනපතා ඇයගේ වයස අවුරුදු 14ක් වන දියණිය පාසලෙන් නිවෙසට රැගෙන ඒමට බිරිය පාසල වෙත යන නමුත් පෙරේදා (14) දින ගොස් නොමැති නිසා ඒ පිළිබඳව සොයාබලන ලෙස ඇගේ ස්වාමිපුරුෂයා හිතවත් කාන්තාවකට සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකුට දුරකථන ඇමතුම් දී පවසා ඇති බව ද පොලිසිය කීය. ඒ අනුව එම නිවෙසට ගොස් ඇති කාන්තාව නිවෙසේ කුස්සිය තුළ හිසෙන් ලේ ගලමින් වැටී සිටි කාන්තාව දැක ඒ බව පොලිසියට පවසා තිබේ.
ඇය මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, ඇය බිම වැටී සිටි ස්ථානයේ ඉනිමගක් ද හේත්තු කර තිබූ නමුත් එම ස්ථානයේ විසිරි තිබූ ලේ පැල්ලම් අනුව ඉනිමගෙන් ඇදවැටීමෙන් සිදු වූ මරණයක් නොවන බවට පොලිසිය සැක පළ කරයි.
ඒ අනුව මහියංගණය මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්රාත් එස්. ගෝවින්ද මහතා පෙරේදා (14) මහේස්ත්රාත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කර ඇත. මෘතදේහය මහියංගණය රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගිය බව ද පොලිසිය පැවසීය.