Monday, April 21, 2025
Home » ගලපිටගල පුරාවිද්‍යාත්මක නටබුන් කැලේට ගිහින්

ගලපිටගල පුරාවිද්‍යාත්මක නටබුන් කැලේට ගිහින්

සංරක්ෂණයක් නැති නිසා නිදන් හොරුත් අල්ලගෙන

by mahesh
August 16, 2023 1:00 am 0 comment

මරදන්කඩවල සමූහ කේ.එස්. කරුණාරත්න

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සන්දනම්කුලම ගම්මානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් කිසිදු සංරක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් විනාශ වෙමින් පවතී.

සන්දනම්කුලම පහළ වැව් ඉස්මත්තේ පිහිටා ඇති ‘ගලපිට ගල’ නමින් හඳුන්වන පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානය මෙසේ විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබේ. මෙම ස්ථානයේ පැරණි දාගැබක නටබුන්, සෙල්ලිපි, කටාරම් කෙටූ ලෙන්, ගල් පඩි, පොකුණු සහ තවත් නටබුන් රැසක් එහි ගිය අපට දැක ගත හැකි විය. ඈත අතීතයේ මෙම ස්ථානයේ භාවනානුයෝගි භික්ෂූන් වහන්සේ වැඩ සිටි බව ඇතැමුන් සඳහන් කරයි. ඈත අතීතයේ සිටම ගම්මු මෙම ස්ථානයට වැඳුම් පිදුම් සිදු කරමින් ගමේ ආරක්ෂාව පතා අදට ද බාර හාර ආදිය සිදු කරති. එනමුත් මෙම ස්ථානය දැඩි ලෙස නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ කිසිදු පුරාවිද්‍යා නිලධාරියකු මේ පිළිබඳ සොයා බැලීමටවත් පැමිණ නැති බවයි. මෙම ස්ථානය තවත් විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කර දෙන ලෙසට ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අප කලාප භාර පුරාවිද්‍යා නිලධාරී දිනේෂ් සමන්කුමාර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

“මෙම ස්ථානයේ සිදු කළ මූලික විමර්ශනවලදී අපට අනාවරණය වුණේ මෙම ස්ථානය ගම් ප්‍රධානියකු විසින් විහාරස්ථානයකට පූජා කළ ගම්වරයක් ලෙසයි. නමුත් කාබන් නිර්ණ සිදු කර නොමැති නිසා අයත් කාලය පිළිබඳ නිශ්චිතව කියන්න බැහැ. මෙම ස්ථානයේ සෙල්ලිපි අප පිටපත් කළා. මෙහි ආරක්ෂාව සම්බන්ධව අප ග්‍රාම නිලධාරී හරහා නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT