පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හානියට පත් ගොවිබිම් සඳහා වන්දි දීමට අදාළ යෝජනාව මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. දිනමිණ කළ විමසුමකදී ඇමැතිවරයා පැවැසුවේ පෙරේදා 14 දා රැස් වූ කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳ වාචිකව කරුණු ඉදිරිපත් කළ බවයි.
හානියට පත් ගොවිබිම් පිළිබඳ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීමට තවත් සතියකට වඩා කාලයක් ගත වනු ඇතැයිද කෙසේ වුවත් කඩිනමින් මේ වාර්තාව තමා වෙත දෙන ලෙස අදාල නිලධාරීන්ට තමා දැනුම් දුන් බවද ඇමැති අමරවීර මහතා කීය. මේ යටතේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම සහ අර්ධ වශයෙන් හානි වී ඇති කුඹුරු සඳහා වන්දි දීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 19ක කුඹුරු අක්කර 32,815ක් විනාශ වී ඇති බවට පසුගිය 14 දා නිකුත් කළ තක්සේරු වාර්තා පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය ඊයේ (15) නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබිණි. ඒ අතුරින් වැඩිම විනාශය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ප්‍රමාණය කුඹුරු අක්කර 10,232කි. වලව කලාපයේ කුඹුරු අක්කර 10,117ක් පමණ විනාශ වී ඇති අතර, එහි හානිය තවදුරටත් ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය සඳහන් කරයි. එමෙන්ම මහව, රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, අම්පාර, මඩකලපුව සහ මාතර දිස්ත්‍රික්වලින්ද වගා හානි යම් ප්‍රමාණයක් වාර්තා වන බවද එම මණ්ඩල වාර්තා පෙන්වා දෙයි. වියළි කාලගුණ තත්ත්වය නිසා සහල් ගොවීන් 21,169 දෙනකු පාඩු ලබා ඇති බවද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ නවතම වාර්තා සඳහන් කරයි. සමස්තයක් ලෙස මෙවර යල කන්නය තුළ පැවැති ගංවතුර, නියඟය සහ වන අලි හානිය ඇතුළු කරුණු ගණනාවක් නිසා ගොවීන් 49,975 දෙනකුට අයත් කුඹුරු අක්කර 50,482ක් මේ වන විට විනාශ වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා අවධාරණය කරයි. මෙයින් වැඩි ප්‍රමාණයක් ගංවතුර හේතුවෙන් විනාශ වී ඇති අතර, ඉන් වැඩිම කුඹුරු අක්කර ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ උඩවලව ප්‍රදේශයේය. ඒ ප්‍රදේශය තුළ ගොවීන් 20,715කට අයත් කුඹුරු අක්කර 24,335ක් විනාශ වී ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.