අපනයන වෙළෙඳපොළ සඳහා පමණක් දිනකට බැරල් 420,000ක ධාරිතාවෙන් යුත් ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට වෙන් කර ඇති හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 1,200ක ඉඩමක් වසර 5ක් ගතව ඇතත්, ව්‍යාපෘති යෝජක විසින් මෙතෙක් බදු පදනම මත ලබා නොගැනීම හේතුවෙන් ඒ ඉඩම නැවත පවරාගැනීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය හා හම්බන්තොට ඔයිල් රිෆයිනරි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය අතර මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට එළැඹීමට 2019 සැප්තැම්බර් 17 දින කැබිනට් මණ්ඩල අනුමැතිය ගෙන තිබිණි.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය අවුරුදු 50ක දිගුකාලීන බදු පදනම මත හම්බන්තොට ප්‍රදේශයේ මේ ඉඩම් අක්කර 1200ක ප්‍රමාණය වෙන් කර තිබිණි. අදාළ ආයෝජක විසින් 2019 සිට මේ දක්වා අදාළ ඉඩම බදු පදනම මත ලබාගෙන නැති අතර, මෙතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටද අපොහොසත් වී ඇත.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘති යෝජකට අවස්ථා ගණනාවකදීම ලිඛිතව දැනුම් දුන්නද ඊට ප්‍රතිචාර දක්වා නැතැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15) පැවසීය.
මේ නිසා දෙපාර්ශ්වය අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුම ප්‍රකාරව ව්‍යාපෘති යෝජක විසින් කටයුතු නොකිරීම හේතුවෙන් එකී ගිවිසුම අවලංගු කිරීමට අයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවද ඇමැතිවරයා කීය.