Home » කේ.බී.වේරගම කීර්තිමත් විදුහල්පතිවරයකුගේ නික්ම යෑම:

කේ.බී.වේරගම කීර්තිමත් විදුහල්පතිවරයකුගේ නික්ම යෑම:

by mahesh
August 16, 2023 1:00 am 0 comment

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ එක් ප්‍රධාන පියවරක් වූයේ රට පුරා මධ්‍ය මහා විද්‍යාල විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමයි. ඒවායේ පරමාර්ථය වූයේ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණෙන සිසුන්ට සහ ශිෂ්‍යත්වලාභීන්ට නේවාසික පහසුකම් සහිතව අංග සම්පූර්ණ විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමයි. එම මධ්‍ය මහා විද්‍යාල අඛණ්ඩව දියුණු මට්ටමක පවත්වාගෙන යෑමට එම විද්‍යාලවල සේවය කළ ගුරුවරුන්ගේ ද විදුහල්පතිවරුන්ගේ ද කාර්යක්ෂමතාවත් කැපවීමත් බොහෝදුරට ඉවහල් විය. කන්නන්ගර මහතා විසින් මුලින්ම ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාල අතර කැපී පෙනෙන විදුහල් දෙකක් වූ වළල මධ්‍ය මහා විද්‍යාලයටත්, තලාතුඔය හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයටත් අතිවිශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ගුරුවරයකු, විදුහල්පතිවරයකු, අධ්‍යාපන පරිපාලකවරයකු වූ කේ.බී. වේරගම මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.

1933 අප්‍රේල් මස 05 වැනි දින උපත ලැබූ වේරගම මහතා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. අනතුරුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා 1958 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධිය ලබා ගත්තේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ගුරුවරයකු ලෙස රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔහු සම්බන්ධ වූ අතර, ඉන්පසු වළල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණියේය. ඔහුගේ මැදි විදුහල් සම්බන්ධ අධ්‍යාපන සේවාවන් ආරම්භ වූයේ වළල මධ්‍ය මහා විද්‍යාලයෙනි. එහි ගුරුවරයකු වශයෙන් සේවයට ගිය වේරගම මහතා දිගු කලක් එහි සේවයේ යෙදී සිට එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙසද සේවය කළේය.

1965 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ අතර, වළල මධ්‍ය මහා විද්‍යාලයේ දී මෙන්ම ඉන්පසු සේවය කළ විද්‍යාලවලදී ද විද්‍යා අධ්‍යාපන ගුරුවරයකු වශයෙන් විශිෂ්ට මෙහෙයක් ඉටු කළේය. ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල විද්‍යා උපාධි හැදෑරීම සඳහා පිවිසුණු අතර, රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ඉහළ තනතුරුවල සේවය කළ විශාල පිරිසක් ඒ අතර වේ.

වේරගම මහතාගේ විදුහල්පති සේවය ආරම්භ වන්නේ තලාතුඔය, හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයෙනි. 1971 වසරේ අග භාගයේ දී වේරගම මහතා එම විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත්විය. එය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් විය. 1971 කැරැල්ල විසින් ඇති කරන බලපෑම බොහෝ විද්‍යාලවලට දැනී තිබූ අතර, තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ ද ශිෂ්‍යයන් පිරිසක් ද ආචාර්යවරු පිරිසක් ද අත්අඩංගුවට පත්ව තිබුණි. විදුහල්පති ධුරයට පත්වීමෙන් පසු වේරගම මහතා සිසුන් සහ ගුරුවරුන් අතර ඇති වූ කම්පනයේ බලපෑම සංසිඳවන අයුරින් කටයුතු කරමින් විදුහල නඟා සිටුවීමට කටයුතු කළේය.

ඒ වන විට ශ්‍රී ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල බොහෝමයක් පෙර පැවති සම්භාව්‍ය තත්ත්වය දිගටම පවත්වාගෙන යෑම පිළිබඳ අභියෝගවලට මුහුණ දී සිටියේය. ප්‍රවාහන පහසුකම් දියුණු වීම මධ්‍යම පන්තිය පුළුල් වීම වැනි හේතු නිසා නාගරික ප්‍රසිද්ධ විදුහල්වලට ඇති වූ ඉල්ලුම ඉහළ ගිය අතර, මධ්‍ය මහා විද්‍යාල පසුබැසීමකට ලක්ව තිබුණි. තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලය ද එම තත්ත්වයට ගොදුරු වී තිබූ අතර එය ඉන් මුදාගෙන නව යුගයක් ආරම්භ කිරීමට ඔහුට හැකි විය. එම කාල පරිච්ඡේදයේ එම විදුහලින් විශාල සිසු පිරිසක් යළිත් විශ්වවිද්‍යාලවලට ප්‍රවිෂ්ට වීම සඳහා අවස්ථා සැලසුණු අතර විදුහල භෞතික සම්පත්වලින් මෙන්ම ක්‍රීඩාවෙන් ද ඉහළ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේය.

ඉන්පසු වේරගම මහතා මාතලේ විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වූයේය. එම විද්‍යාලය ද දියුණුවට පත් කිරීමට විශාල සේවයක් ඉටු කළ ඔහු ඉන්පසු ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස උසස්වීම් ලබා විශ්‍රාම යන විටත් එම පදවියේ කටයුතු කරමින් සිටියේය.

මා තලාතුඔය, හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි අවධියේ විදුහල්පතිවරයා ලෙස සේවය කළේ වේරගම මහතාය. සිසුන් හික්මවීම සඳහා ද ඔවුන්ගේ දක්ෂතාවන් ඔප්නැංවීම සඳහා ද වේරගම මහතා අනුගමනය කළේ ඔහුගේම පිළිවෙතකි. දඩබ්බර සිසුන් හික්මවා ඔවුන්ට විවිධ කාර්යයන් පවරා ඔවුන්ගේ හැකියාවන් ඉහළට ගෙන ඒම සඳහා ඔහු කටයුතු කළේය. මම මගේ තෙවන පොත පිළිගැන්වූයේ ඒ ආදරණීය ගුරුවරයාටය. 2015 මාර්තු මස 26 වැනි දින පැවැති ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මා විසිනි. එම දේශනයේ මම මෙසේ සඳහන් කළෙමි. “මගේ පාසලේ විනය භාර ගුරුවරයා මා හැඳින්වූයේ පාසලේ සිටින ‘නරකම ළමයා ලෙසය.’ මගේ විදුහල්පති, ප්‍රවීණ අධ්‍යාපනඥයකු වූ කේ.බී. වේරගම මහතා මැදිහත් සිතින් යුතුව එම අවස්ථා, සිද්ධි විමසා බලා සෑම අවස්ථාවකදීම මා ආරක්ෂා නොකරන්නට අද මේ දේශනය කරන්න වරම් නොලැබෙන්නට ඉඩ තිබුණේ යැයි මට සිතේ.”

වේරගම මහතා විවාහ වූයේ උපාධිධාරි ගුරුවරියක වූ නිර්මලී වීරක්කොඩි මහත්මිය සමඟය. ඔහුගේ දරුවන් වන්නේ සුලේක්ෂි, ඉනෝකා සහ වෛද්‍ය උපාලිය. කොළඹ පොලිස් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥයකු ලෙස වෛද්‍ය උපාලි වේරගම මහතා සේවය කරයි. 2023 ජූලි මස 16 වැනි දින වේරගම මහතා(90) අභාවප්‍රාප්ත විය. ඔහුගේ ඉල්ලීම පරිදි අවමංගල්‍යය ඉතා චාම් අන්දමින් සිදු කෙරිණි. එතුමාට නිවන් සුව ලැබේවා !

සුනන්ද මද්දුමබණ්ඩාර

කැලණිය විශ්වවිද්‍යාලයේ

හිටපු උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT