Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකා සහ ඉන්දීය නායක දැක්ම දෙරටේ සබඳතා නැංවීමට දිගුකාලීන මාර්ග සිතියමක්

ශ්‍රී ලංකා සහ ඉන්දීය නායක දැක්ම දෙරටේ සබඳතා නැංවීමට දිගුකාලීන මාර්ග සිතියමක්

ඉන්දියාවේ 77 වන නිදහස් දින උත්සවයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් කියයි

by mahesh
August 16, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

සෞභාග්‍යය උත්ප්‍රේරණය කරමින් ශ්‍රී ලංකා – ඉන්දීය නායකයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද දැක්ම සියලු පැතිකඩ ඔස්සේ දෙරටේ සම්බන්ධතාව ඉහළ නැංවීම කේන්ද්‍ර කරගත් දිගුකාලීන මාර්ග සිතියමක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රකාශ කළේය.

මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දියා හවුස්හි දී ඊයේ (15) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවය අමතමිනි.

අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියේ පිහිටා සැමට සෞභාග්‍ය උදාකරදීමට ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට අවශ්‍ය මොහොතේ තවදුරටත් රැඳී සිටින බවද ශ්‍රී ලංකාව නැවත වරක් යථා තත්ත්වයට පත්වීමට සූදානමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්වය ද නව සන්ධිස්ථානයන් කරා ගමන් කරමින් සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර මේ වසරේ දී 75 වැනි වසර සම්පූර්ණ කරන බව සිහිපත් කළ ගෝපාල් බාග්ලේ මහතා වඩා සමීප ආර්ථික හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීම සඳහා ඉදිරි වසර 25 සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද පැවසීය.

පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරට ජනතාව වඩා සමීප කරවන බලශක්තිය, කිරි නිෂ්පාදන, වඩා ඉහළ ගුවන් හා සමුද්‍රීය සම්බන්ධතාව සහ තවත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සිදු කරන ලද විවිධ නිවේදන සහ ලද ප්‍රතිඵල ඔස්සේ සුවිශේෂී ජවයක් ලබාදී තිබෙන බවද කීවේය.

දෙරටේ ඩිජිටල් පොදු යටිතල පහසුකම්වලින් සවිබල ගන්වන ලද අන්තර්ග්‍රහණීය වර්ධනය සම්බන්ධයෙන් ඉන්දියාවේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දීය සම්භවයක් ඇති දමිළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිසා ද මේ වර්ෂය සුවිශේෂී වසරක් බවද ඉන්දීය රජය මේ ප්‍රජාවගේ සමස්ත සුබසිද්ධිය උදෙසා ශ්‍රී ලංකා රුපියල් බිලියන තුනක විස්තීරණ ප්‍රදාන පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබෙන බවද සඳහන් කළේය. එවැනි පැකේජයක් නැඟෙනහිර පළාතේ ජනතාව සඳහා ද ලබාදී තිබේ.

ශිෂ්ටාචාරමය බැඳීම්, බෙදා හදා ගන්නා උරුමය සහ අප දෙරට ජනතාව අතර පවතින දිගුකාලීන බැඳීම් යන පදනම් මත තවදුරටත් සවිමත්ව ගොඩනැඟෙමින් අපි ජනතාවගේ සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන ඒකාබද්ධ දැක්මක් සමඟින් ඉන්දියා – ශ්‍රී ලංකා බැඳීම්හි මීළඟ අදියරට පිවිසෙන බවද එළඹෙන කාලයේ ඉන්දියා – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ගැඹුරු සහ පුළුල් ලෙස වර්ධනය වීමට සියල්ල සූදානම් යැයි විශ්වාසය පළ කළේය.

ඉන්දියාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දීය ජනාධිපතිනි ශ්‍රීමතී ද්‍රෞපදී මූර්ති මහත්මිය විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩය ද මෙහිදී මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT