ඔක්තෝම්බර් තෙක් විදුලි සැපයුම පෞද්ගලික අංශයෙන් නොගෙන ලබාදීමට සැලසුම් සකස් කර තිබුණ ද සමනල වැව ජලාශයෙන් අතිරික්ත ජලයක් මුදා හැරීම හේතුවෙන් හදිසි විදුලිය මිලදී ගැනීම් කිරීමට සිදුවුවද අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සහතික කරන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ (15) විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සමනල වැව ජලාශයෙන් අතිරික්ත ජලයක් මුදා හැරීමට සිදුවුවද එම අතිරික්ත ජලයෙන්ද විදුලිය හැකි තාක් නිෂ්පාදනය කළ බවත් මේ වන විට සමනල වැව බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු තව දින දෙකකින් පමණ සම්පූර්ණයෙන් අත්හිටුවීමට සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් විදුලිය අඩුවීම අනෙකුත් විදුලිබල මණ්ඩලය සතු බලාගාර සහ අතවශ්‍ය මිලදී ගැනීම් වලින් සපුරා ගෙන අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බවත් මේ වන තෙක් විදුලි කප්පාදු කිරීමේ අවදානමක් නැති බවද ඇමැතිවරයා පැවසීය.
ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනේ රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලුව විසඳීමත් සමඟ මේ වන විට සම්ප්‍රේෂණ ජාලා ඇදීම නිමා කර මේ ඉරිදා වන විට දකුණු පළාතට විදුලිය ලබාදීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා පැවසීය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර වරින් වර බිඳ වැටීම් සිදු වුවද මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන අදියරේ බිඳ වැටී තිබූ ජනන යන්ත්‍රය යාවත්කාලීන කර ඇති අතර එයින් ඊයේ (15) රාත්‍රී වන විට ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීම සිදුකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය සතු අක්‍රීය තත්ත්වයේ පැවති ඩීසල් විදුලි ජනක යන්ත්‍ර ද මේ වන විට අලුත්වැඩියා කර ජාතික පද්ධතියට එක්කර ඇති බවත් ඒවා තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 50ක ධාරිතාවක් එක්ව ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
විදුලි බිල වැඩිවීමත් සමඟ විදුලි ඉල්ලුම අඩු වී ඇති බවට විවිධ ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම මේ වන විට විදුලි ඉල්ලුම මෙගා වොට් පැය 49ත් 50ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලුම බලාගාර උපරිම ධාරිතාවෙන් යුතුව පවත්වාගෙන යන බවද ඇමැතිවරයා පැවසීය.
ජල විදුලිබලාගාරවලට ජලය නිකුත් කරන්නේ ජල කළමනාකරණ කමිටුවෙන් බවත් ජල විදුලියෙන් විදුලිය ලබාදීමට ගිගා වොට් පැය 4200ත් 4500ත් පමණ පුරෝකථනය කර තිබුණද මේ වන විට ඇතිවී ඇති නියං තත්ත්වය හමුවේ එම ධාරිතාව ගිගාවොට් පැය 3400ත් 3800ත් දක්වා අඩුවී ඇතැයිද ඇමැතිවරයා කීය.
අමතර විදුලි මිලදී ගැනීම් සඳහා පෞද්ගලික විදුලි බලාගාර හතරක් ඇති බවත් ඉන් දෙකකින් මේ වන විට යෝජනා ලැබී ඇති බවත්, අවශ්‍ය හදිසි විදුලි මිලදී ගැනීම් වෙනුවෙන් ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.බලාගාරවලට අවශ්‍යතාව අනුව ඉන්ධන ලබාදී බලාගාරය හා එහි සේවකයන් ලබාදීමත් පිළිබඳව සාකච්ඡා කර ඇති බව ද කියා සිටියේය. එම පෞද්ගලික විදුලි බලාගාරවලින් රුපියල් 52ත් 58ත් අතර මිලකට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.