Home » පේරාදෙණිය සරසවියේ තාක්ෂණ නිලධාරියකු පැහැරගෙන යෑමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප

පේරාදෙණිය සරසවියේ තාක්ෂණ නිලධාරියකු පැහැරගෙන යෑමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප

by mahesh
August 16, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ තාක්ෂණ නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ඔහු පැහැරගෙන ගොස් හිංසා කළ බව කියන සිද්ධියකට අදාළව සැකකරුවන්ට ඊයේ ඇප නියම විය.

අධිකරණය මඟින් නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු වැඩබලන ලේඛකාධිකාරීවරියක ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන් පස් දෙනකු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රාජකරුණා මහතා විසින් එක් අයකුට රුපියල් දහසක මුදල් සහ ලක්ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප නියම කර මුදා හරිනු ලැබීය.

මෙසේ මුදල් ඇප සහ ශරීර ඇප නියම වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු වැඩ බලන ලේඛකාධිකාරී ඒ.එම්. ජී ජයන්තා ධර්මසිරි, ප්‍රධාන ආරක්ෂක නිලධාරී එන්. ඒ. සූරියබණ්ඩාර, ආරක්ෂක නියාමක කේ. පී. පී මධුශංක, ආරක්ෂක පරීක්ෂකවරුන් වන බෙනට් ජයවර්ධන, ඩබ්ලිව්. සී. කේ. සිරිවර්ධන, ආරක්ෂක රියදුරු ඩී. එම්. එස්. කේ. දිසානායක යන අයටය.

අධිකරණය මඟින් සිතාසි නිකුත් කර තිබූ ආරක්ෂක නියාමක අතුල බණ්ඩාර නමැති අය මෙදින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුට වරෙන්තු නිකුත් කළේය.

විද්‍යා පීඨයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියකු ලෙස සේවය කළ සංජීව රවීන්ද්‍ර රාජපක්ෂ නමැති අය විසින් පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරුවන්ට එරෙහිව අතිරේක මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි නයෝමි කරුණාරත්න මහත්මිය 2022 මැයි 27 දින ලිපියක් යොමු කරමින් ඔබගේ විශ්‍රාම පාරිතෝෂික හා අර්ථසාධක මුදල් දින 14ක් තුළ නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස සංජීව රාජපක්ෂ නමැති අයට දැනුම් දී තිබිණි.

තමන්ගේ සේවය අවසන් කරන ලද බව දන්වා තමන් වෙත ලිපියක් විශ්වවිද්‍යාලය මඟින් ලබා දී නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධව විමසීමට 2022 මැයි 30 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාථන මන්දිරය වෙත ගිය අවස්ථාවේ තමන්ට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බව සංජීව රවින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

අදාළ පැමිණිල්ල පොලිසියට වෙත සිදු කිරීමෙන් පසු 2022 සැප්තැම්බර් 16 දින අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව වාර තුනක මේ සම්බන්ධයෙන් සංජීව රාජපක්ෂ යන අය විසින්ම අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ. අනතුරුව පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නදුන් දිසානායක මහතා පෙනී සිට ඇත.

මුදල් හා ශරීර ඇප මත මුදා හරින ලද සැකකරුවන්ට යළි සැප්තැම්බර් මස 21 දින අධිකරණයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT