මහත්තයා මේ ගමන ගියේ දෙගිඩියාවකින්
– මිය ගිය සරත්ගේ බිරිය
වෑන් රථයක් සහ ලොරි රථ දෙකක් ඊයේ (15) අලුයම කොළඹ – මහනුවර ඒ 09 මාර්ගයේ මාන්කුලම, පනිච්චන්කුලම ප්‍රදේශයේදී එකිනෙකට ගැටී සිදු වූ රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් අට දෙනෙක් තුවාල ලබා ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ලොරි රථ දෙකේ පැමිණි දෙදෙනෙක් සහ වෑන් රථයේ සිටි අයෙක් බවත්, තුවාලකරුවන් අට දෙනා අතර වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙක් සිටින බවත් පොලිසිය කියයි. මේ කාන්තාවන් තිදෙනා හැරුණු කොට සෙසු පස් දෙනා ලොරි රථ දෙකෙහි සිටි අය බව ද පොලිසිය කියයි.
අනතුරට වගකිව යුත්තේ වෑන් රථයේ රියැදුරු බැවින් ඔහු අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එහිදී ඔහු ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් මාන්කුලම පොලිසිය කියයි.
වෑන් රථය ගමන් කරමින් තිබී ඇත්තේ යාපනය දෙසටය. රට රැකියාවක් සඳහා යන යාපනයේ පදිංචි පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළට ඇරලවීමට ගොස් නැවත යාපනය බලා එමින් සිටියදී මේ අනතුර සිදුව තිබෙන බව පොලිසිය කියයි. නැවත පැමිණෙන විට යාපනයේ පදිංචි රියැදුරු දන්නා හඳුනන කාන්තාවන් තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක් කටුනායකින් වෑන් රථයට නංවාගෙන ඇති බව ද පොලිසිය කියයි. ඒ අය ද කටුනායකට ගොස් ඇත්තේ ඔවුන්ගේ ඥාතියෙක් ගුවන්තොටුපොළට ඇරලවීමට බව විමර්ශනයේදී අනාවරණයවී තිබේ.
ලොරි රථ දෙකේ ගමන් කරමින් සිට ඇත්තේ වැල්ලම්පිටියේ සහ මුල්ලේරියාවේ පදිංචිකරුවන් පිරිසකි. යාපනයේ කෝවිලක පැවැත්වෙන මංගල උත්සවයකට ඇනවුම් කළ උත්සව සහ සැරසිලි භාණ්ඩ තොගයක් මේ ලොරි රථ දෙකෙහි රැගෙන යමින් තිබී ඇත. පුද්ගලයන් 16 දෙනෙක් පමණ මේ ලොරි රථවල ගමන් කරමින් සිට ඇත.
අනතුර වූ ස්ථානය ආසන්නයේදී එක් ලොරි රථයක ටයරයක සුළං බැසීම නිසා එය මාර්ගය අයිනේ නතර කර ඇති බවත්, එම ලොරි රථය පිටුපස අනෙක් ලොරිය නතර කර ඇති බවත් පොලිසිය කියයි. ලොරි රථ දෙකෙහි රැඳී සිටි පිරිස ලොරි රථවලින් බැස මාර්ගය අයිනේ නතරවී සිට ඇති බවත්, රියැදුරු ඇතුළු කිහිප දෙනෙක් සුළං බැස ගිය රෝදය ගලවා අමතර රෝදය එහි සවි කරමින් සිට ඇති බවත් පොලිසිය කියයි.
වේගයෙන් පැමිණි වෑන් රථය පිටුපස තිබු ලොරියේ වැදී ඇති බවත්, එහිදී එම රථය ඉදිරියට ඇදී ගොස් ටයරය මාරු කරමින් තිබු ලොරියේ ගැටී ඇති බවත් පොලිසිය කියයි.
වෑන් රථය ලොරි රථයේ ගැටෙන විට එහි පිටුපස සිටි අයකුගේ ද ගැටී ඇති බවත්, එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි. වෑන් රථය පිටුපස තිබු ලොරි රථයේ ගැටීමත් සමඟ එම ලොරි රථය ඉදිරියෙන් තිබු ලොරි රථයේ ගැටෙන විට එක් ලොරි රථයක රියැදුරු රැඳී සිට ඇත්තේ ලොරි රථ දෙක මැදට වන්නටය. ලොරි දෙක එකිනෙකට ගැටෙන විට එම රියැදුරු ද රථ දෙක අතර සිරවී මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
එසේ මිය ගිය රියැදුරාත්, ලොරි රථය පිටුපස සිටියදී වෑන් රථයේ ගැටී මිය ගිය පුද්ගලයාත් වැල්ලම්පිටිය, උස්වත්තේ සහ මුල්ලේරියවේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
අනතුරින් වෑන් රථයේ ඉදිරිපස කොටසට දැඩිව හානි සිදුව යකඩ ගොඩක් බවට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. අනතුරින් මිය ගිය තුන්වැන්නා වෑන් රථයේ ඉදිරිපස අසුනක සිටි අයෙක් බවත්, ඔහු යාපනයේ වැසියෙක් බවත් පොලිසිය සඳහන් කළේය.
මේ අනතුරින් මිය ගිය තිදෙනා අවුරුදු 39, 46 සහ 58 වයස්වල පසුවන්නන්ය.
මේ අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනාත්, ලොරියේ ගමන් කළ දෙදෙනකුත් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවත්, සෙසු තිදෙනා මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.
වෑන් රථ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් මේ අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බව ද පොලිසිය සඳහන් කළේය.
මේ අනතුරින් මිය ගිය වැල්ලම්පිටිය, උස්වත්තේ පදිංචිකරු වෘත්තියෙන් කාර්මික ශිල්පියෙකි. 58 හැවිරිදි වියේ පසු වූ ඔහු නමින් සරත් කුමාර වීරසිංහය. පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ පියෙක් වන සරත්ගේ බිරිය එච්. ඩබ්. චමිලා ‘දිනමිණ’ හා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියාය.
“එයා යාපනේ ගියේ විදේශිකයකුගේ මංගල උත්සවයක කාර්මික වැඩ වගයක් කරන්න. එයා දක්ෂ කාර්මික ශිල්පියෙක්. ඒ යන කොට ගමන ගැන පොඩි දෙගිඩියාවකුත් හිතේ තිබුණා. හුඟක් තොරණවල කාර්මික ශිල්පියකු හැටියට මහත්තයා වැඩ කර තියෙනවා. කලකට පෙර බොරැල්ල තොරණ ප්‍රදර්ශනය සඳහා ඉදිකරන කොට ආ ලොකු හුළඟකට තොරණ කඩා වැටෙන්න ගිහින් තිබුණා. ඒ වෙලාවේ සද්දන්තයෙක් වගේ මහත්තයා දැඩි උත්සාහයක් දරලා තොරණ හයියෙන් අල්ලගෙන හිටියා කියලා හැමෝම කිව්වා.”
මේ අනතුරින් මිය ගිය මුල්ලේරියාවේ පුද්ගලයා අංගොඩ, පංසල්වත්තේ පදිංචිකරුවෙකි. රංග මධුසංඛ නමැති ඔහු මිය යන විට 39 හැවිරිදි වියේ පසු විය. වෘත්තියෙන් ඔහු රියැදුරෙකි. ලොරි රථ දෙකට මැදිවී ඇත්තේ රංගය.
රංගගේ බිරිය වන රේණුකා දමයන්ති හැඬූ කඳුළින් මෙලෙස පැවැසුවාය.
“මගේ මහත්තයා රියදුරු රස්සාව කළේ. එයාගේම ලොරිය එයා පැදෙව්වේ. 14 වෙනිදා දවල් තමයි එයා යාපනේ යන්න පිටත් වුණේ. ඒ උත්සව භාණ්ඩ වගයක් රැගෙන යන්න තියෙනවා කියලා. ඒ යන අතරමඟදී එයා සැරින් සැරේ මාත් එක්ක කතා කළා. අන්තිමට කතා කළේ ගලේවෙල හරියෙදී කෑම කන්න නතර කළාම. ඒ කෝල් එක එනකොට රෑ 10.00ට විතර ඇති. මහත්තයා මටත් පුතාලා තුන් දෙනාටත් පුදුම ආදරයක් තිබුණේ. එයා තමයි හැමදාම උදේට දරුවන් ඉස්කෝලෙට ගෙනි යන්නෙත් හවසට අරගෙන එන්නෙත්. රංගට ගමේ හැම කෙනෙක්ම ආදරෙයි. කිසි කෙනකුට වරදක් නැති මටයි දරුවො තුන් දෙනාටයි පණ වගේ ආදරේ කරපු කෙනෙක් තමයි මෙහෙම දාල ගියේ.”