ඇතිව තිබෙන වියළි කාලගුණික තත්ත්වය සහ ඇතැම් ප්‍රදේශවල ජලාශ සහ කුඩා වැව් සිඳීයාම යන කාරණාත් මේ තත්ත්වයට බලපාන හේතු මොනවා දැයි යන්න පිළිබඳවත් මෙයට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාව පිළිබඳ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
- – පරිසර විනාශය වියළි කාලගුණ තත්ත්වයට ප්‍රධානතම කරුණක්
– වනාන්තර විනාශය වැළැක්වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි
– වැසි ජලය පොළොවට උරා ගන්නේ නෑ
පසුගිය අවුරුද්ද තුළ සැලකිය යුතු වර්ෂාවක් දිවයින පුරා ඇද හැලුණත් මාස කිහිපයක වියළි කාලගුණයත් සමඟ උග්‍ර ජල අර්බුදයක් ඇතිවීමේ ලකුණු පහළව තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?
පසුගිය වසරක කාලය සලකා බලනකොට අවුරුද්ද තුළ සැලකිය යුතු වැසි ප්‍රමාණයක් ඇද වැටුණා. එහෙත්, අද වන විට බොහෝ ප්‍රදේශවල ජලාශ සිඳී ගිහින් තිබෙනවා පමණක් නොවෙයි, ජල විදුලිය උත්පාදනයට, කෘෂිකර්ම කටයුතුවලට මෙයින් ලොකු බාධාවක් ඇතිව තිබෙනවා. මෙය වඩාත් හොඳින් සලකා බැලිය යුතු විගස ප්‍රතිකර්ම කළ යුතු දෙයක් විදිහටයි මට පෙනෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි. සාමාන්‍ය විදිහට සලකා බැලුවහොත්, රට පුරාම වර්ෂාපතනය මිලිමීටර් දෙදහසකට ආසන්නයි. අප මේ වර්ෂය තුළ සලකා බැලුවහොත්, මෙවරත් වර්ෂාපතනය සාමාන්‍ය විදිහට ගත්තොත් මිලිමීටර් දෙදහසට වඩා දශම ගණනයි අඩුව තිබෙන්නේ. ඒ නිසා වර්ෂාපතනයේ අඩුවක් නිසා අද ඇතිව තිබෙන වියළි තත්ත්වය ඇති වූ බවට හිතන්න බැහැ.
එහෙනම් මේ තත්ත්වයට හේතුව මොකක්ද?
මම සිතන විදිහට මේ තත්ත්වයට මූලික හේතුව බවට පත්ව තිබෙන්නේ වර්ෂාව නියමිත පරිදි ඇද හැලුණත් ඒ වැස්ස නිසි විදිහට අවුරුද්ද පුරා පැතිර නොතිබීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වර්ෂා තත්ත්වයේ අඩුවක් නොවීම තුළත් ජලාශ සිඳීයාම තරම් තත්ත්වයක් ඇතිව තිබෙන්නේ. ඇතැම් අවස්ථාවල එක් එක් ප්‍රදේශවලට දිනකටදී මිලිමීටර් සියය ඉක්මවන වැසි වැස තිබෙනවා. ඒ තත්ත්වය තුළ සිදු වන්නේ ලැබෙන අධික ජලය ජලාශවලට ඇදී යාම එතැනදී ජලාශවල ධාරිතාව ඉක්මනින්ම ඉක්මවා යන නිසා වාන් දොරටු හැරීමක් සිදු කරනවා. එහිදී සිදු වන්නේ ජලය නිකරුනේ ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුද වෙත ගලා යාමයි. ඒ වගේම අධික වර්ෂාව නිසා ජලය පොළොව වෙත උරා ගැනීමක්ද සිදු වෙන්නේ නැහැ එහි ප්‍රතිඵලය වන්නේ භූගත ජලය ප්‍රමාණයද අඩු වීමයි. මේ හැම අංශයක්ම සලකා බලනකොට ජල අර්බුදයට එය මූලික හේතුවක් විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ. ඒ නිසා අප මූලිකව සලකා බලන්න ඕනෑ දෙයක් වෙන්නේ මෙම ජල නාස්තිය වළක්වා ගන්නේ කොහොමද කියන දේයි.
ජල අර්බුදයක් ඇති වෙන්න බලපාන්නේ කුමන ආකාරයේ කාරණාද?
අපේ රටේ වැව් පමණක් තිස්පන්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. අතීතයේදී අපේ රටේ උපරිම ජල සුරක්ෂිත භාවයක් තිබුණා. අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් අපතේ නොයවන ඉතාමත් හොඳ ජල සංස්කෘතියක් අපේ රටේ තිබුණා. එහෙත්, කාලයත් එක්ක ඒ සංකල්පය ගිලිහී ගිහින් තිබෙනවා. අපට මේ වැව් සහ ජලාශ නිසි විදිහට නඩත්තු කරනවා නම් ඇති වන මෙවැනි අර්බුද රැසක් සමනය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම එක පාර වැව් තිස්පන්දහසම හාරලා රොන් මඩ අයින් කරන්න කියලා මම කියන්නේ නැහැ. ඒත්, අවුරුද්දට වැව් පන්දහස බැඟින් නැවත ප්‍රතිසංස්කරණය කර රොන් මඩ ඉවත් කරන්න, අපට පුළුවන් කම තිබෙනවා. එහෙම කළොත්, අවුරුදු කිහිපයක් ඇතුළත වැව් පද්ධතිය පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කරන්නට අපට පුළුවන්කම ලැබේවි. එමඟින් අර්බුදයට විසඳුම් නිමා කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.
අද සමහර ජලාශවල පරිමාණය සියයට පනහකින් ගොඩවෙලා තිබෙනවා. අපේ රටට ලැබෙන වතුරෙන් සියයට පනහක් නාස්තිවන බව ඒ මඟින් තහවුරු වෙන ප්‍රධාන කරුණයි.
මම මේ විෂය පිළිබඳ දැනුම ඇති කෙනෙකු විදිහට මේ තත්ත්වය ගැන අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළා. යෝජනා ඉදිරිපත් කළා. එහෙත්, ඒවාට නිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. 2016දී පැවැති ආණ්ඩුව මේ තත්ත්වය සොයා බලන්න කෘෂිකර්ම, කාලගුණ කණ්ඩායම් සමඟ කමිටුවක් පත් කළා. ඒ වගේම එහි සාමාජිකයකු විදිහට කටයුතු කරමින් වාර්තාවක් ඉදිරිපත් කළා. ඇත්තෙන්ම අපට දේශගුණය, කාලගුණය වෙනස් කරන්න බැහැ. ඒත්, අපට මේ දේශගුණ සහ කාලගුණ අභියෝග ජයගැනීමට අවශ්‍ය සැලසුම් නිර්මාණය කරන්න හැකියාව තිබෙනවා. අප කළ යුතුව තිබෙන්නේ මේ දේවල් පිළිබඳව නිසි විදිහට සැලසුම් ඇති කිරීමයි.
ජල හිඟය නියඟය වැනි දේවල්වලට පරිසරය විනාශ කිරීම ගස්වැල් විනාශ කිරීම වැනි දේවල් ප්‍රබල විදිහට බලපාන බව සඳහන්. මේ ගැන විෂය පිළිබඳ දැනුවත් භාවයක් ඇති ප්‍රාඥයකු විදිහට ඔබේ අදහස කුමක්ද?
ජල හිඟයට වගේම වියළි කාලගුණ තත්ත්වයට බලපාන ප්‍රධාන එක් කරුණක් විදිහට පරිසර විනාශය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා වන විනාශය නැවැත්විය යුතුයි. ගස් කපා දැමීම නිසා සිදුවන ප්‍රධාන දෙයක් බවට පත්වන්නේ පාංශු බැඳීම් හීනවීමත් ජල වාෂ්ප රඳවා ගැනීම වගේ බොහෝ අංශවලට හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා පරිසරය රැකීම, ගස් සිටුවීම, තිබෙන වන ගහණය ආරක්ෂා කිරීම වගේ විවිධ ක්‍රියාකාරකම් වෙත යොමු විය යුතුයි. අපි මේ හැම අංශයක් පිළිබඳවම අවධානය යොමු කර වැඩ කරනවා නම් කාලගුණයේ විෂමතා සහ අනාගතයේදී ඇති විය හැකි මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන්න පුළුවන්.
අපේ රටට ලැබෙන වැසි පතනය ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳා බැලීමේදී තහවුරු වන කරුණු මොනවාද?
ඔව්. අපේ රටේ එක් පුද්ගලයකුට විශාල ජල ප්‍රමාණයක් විදිහට ජලය බෙදන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ගත්තොත් අපේ රටේ එක් වැසියකුට ලැබෙන ඒක පුද්ගල ජල ප්‍රමාණය ලෝකයේ වැඩිම ජල ලීටර් ප්‍රමාණය වෙනවා. එහෙත්, එය නිසි විදිහට කළමනාකරණය කර නොගැනීමයි වෙලා තිබෙන්නේ.
එල්නිනෝ වැනි ගෝලීය කරුණු මෙරට කාලගුණ තත්ත්වයට බලපාන බව ඇතැමුන් සඳහන් කරනවා. මේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
මේ මතය මගේ පුද්ගලික මතයක් විදිහට සඳහන් කරන්නම්, ඇත්තෙන්ම බොහෝ පිරිස් දක්වන ගෝලීය දේශගුණ කරුණු අපේ රටට ඒ කියන විදිහටම බලපානු ලබන්නේ නැහැ. පසුගිය අවුරුද්දේ වුවද අපට ලැබිය යුතු වර්ෂාපතනය ලැබුණා. අදත් ඇතිව තිබෙන්නේ එවැනි තාවකාලික සංසිද්ධියක් මිස ගෝලීය සාධක විදිහට හඳුන්වා දෙන්න බැහැ. ඒ නිසා මගේ පුද්ගලික අදහස විදිහට පෙන්වා දීමට ඇත්තේ සමහරු කියන ගෝලීය කරුණු අපේ රටට එහෙම පිටින්ම බලපාන්නේ නැති බවයි. එහෙත් අප රටක් විදිහට එවැනි ගෝලීය තත්ත්වයකට මුහුණ දීමට වුවත් සූදානම්ව ඉන්න ඕනෑ. එහෙම සූදානමින් සැලසුම් සහගතව වැඩ කළොත් අනාගතයට අපට පහසුවෙන් මුහුණ දීමට හැකියාව ලැබෙනවා.
මෙවැනි වියළි කාලගුණ තත්ත්වයන් මෙරට කලින් කලට ඇති වෙනවා. මේ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යාව පිළිබඳ විද්වතුන් දක්වා තිබෙන්නේ මොන විදිහේ අදහසක්ද?
අතීතයේ සිටම විවිධ පිරිස් විවිධ අදහස් මතවාද පළ කළා. එහෙත් ඒ අදහස් අතරින් ඉතාමත් වැදගත් කරුණු නිගමන කිහිපයක් තිබෙනවා. ඒ මත අතරින් මහාචාර්ය තම්බයියා පිල්ලේ කියන කීර්තිමත් මහාචාර්යවරයා එක් කරුණක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඔහු මේ නිගමනය ඉදිරිපත් කර තිබෙන්නේ 1960 තරම් ඈත කාලයකදියි. සෑම වසර 22කට වරක්ම සාමාන්‍ය නියං තත්ත්වය ඉක්මවා ගිය ලොකු නියං තත්ත්වයන් ඇති වන බවට ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ නිගමනයට එළඹ තිබෙන්නේ සුළං රටාව, සූර්ය විපර්යාස වැනි කරුණු සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුවයි. ඔහුගේ නිගමනය අනුව දැන් එළඹ තිබෙන්නේ එවැනි කාලයක් බව පෙන්වා දිය හැකියි. එනිසා වර්ෂා රටාව වැනි දේ පිළිබඳව අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව තමයි මෙම නිගමනයට එම මහාචාර්යවරයා එළඹ තිබෙන්නේ. කාල වකවානු දෙකකදී අපේ රටට වැසි වාර වැටෙනවා. එහෙත්, අවුරුදු 22කට වරක් මේ තත්ත්වය වෙනස් වීම විෂම තත්ත්වයක්. අපේ රටට දැඩි වියළි කාලගුණ තත්ත්වයන් ඇති වෙන්නේ ඒ වාතාවරණය තුළයි. පසුගිය අවුරුදු 50 බැලුවාම වුණත් මහාචාර්යවරයාගේ නිගමනයේ සත්‍ය තත්ත්වයක් තිබෙනවා. අපට මේ රටාව තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා නම්, බොහෝ අනතුරුදායක තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට පුළුවන්.
2002 කාලයේදී විශාල නියං තත්ත්වයක් තිබුණා. ඒ වගේ දිගටම සලකා බැලුවොත් මේ රටාව පැහැදිලි කර ගන්න පුළුවන්.
මෙහිදී මම දැක්ක තවත් දෙයක් තියෙනවා. ඒ වගේම අවුරුදු දහයෙන් දහයටත් මෙවැනි තත්ත්වයක් ඇති වන බව ඒ සියලු තත්ත්වයන් සලකා බැලීම මඟින් මේ රටාව මොකක්ද කියන දේ අපට නිසි විදිහට නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.
කාලගුණ අනාවැකි සහ පුරෝකථන පසුගිය කාලයේදී නිසි විදිහට සැබෑ නොවූ අවස්ථා තිබෙනවා නේද?
විද්‍යාත්මක කරුණු ආශ්‍රිතව වර්තමානයේදී සිදු කරනු ලබන අනාවැකි සියයට අනූනවයක්ම ඇත්ත වෙනවා. ඒ වගේම දක්ෂ කාලගුණ විද්‍යාඥ මඬුල්ලක් සිටිනවා. ඒ නිසා අපේ කාලගුණ දෙපාර්මේන්තුව තුළ ඉතාමත් දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔවුන්ට නිසි විදිහට තම වගකීම් ඉටු කරමින් ඉන්නවා.
වියළි කාලගුණ තත්ත්වයෙන් පසුව ඇති වෙන්නේ මහවැසි සමඟ නායයාම් අනතුරුයි. මෙවැනි අනතුරුදායක තත්ත්වයන් සහ එම අනතුරු පහ කර ගන්නා ආකාරය පිළිබඳව අදහසක් පළ කළ හැකිද?
මෙම තත්ත්වයට බලපානු ලබන්නේ අවිධිමත් පරිසර භාවිතය සහ වැසි රටාව විෂම විදිහට වෙනස් වීමයි. එහි අන්තිම ප්‍රතිඵලය බවට පත්වන්නේ නායයාමේ අනතුරු දායක තත්ත්වයක් ඇති වීමයි. දිනකට මිලි ලීටර් සියයකට වඩා වැසි වැටුණොත් නායයාමේ අනතුරු ඇති වෙන්න පුළුවන්. එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට ජලාශ වෙත වැඩි වැඩියෙන් පස් මඩ තැන්පත් වීම වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා සියල්ලටම කලින් පරිසරය ආරක්ෂා කිරීම කරන්න ඕනෑ. වනාන්තර විනාශය වැළැක්වීම අනිවාර්යෙන්ම කළ යුතුයි.