Home » සීනිගම – තිත්තපත්තර වූ කලී

සීනිගම – තිත්තපත්තර වූ කලී

by mahesh
August 16, 2023 1:00 am 0 comment

කුලප්පු වූ වස්සන්’සේවය කරන ස්ථාන සඳහා දිය යුතු සම්බුව, පාර්ලිමේන්තු ගෘහ පාලන ඒකකයෙන් පටන් ගැනීම සම්බන්ධයෙන් මේ තීරුව සිය ප්‍රශංසාව පිරිනමයි. ගෘහ පාලන ඒකකයේ සිටි ලොක්කෙකුට තමා පාලනය කර ගැනීමට නොහැකි හෙයින්, පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය, ආපණ ශාලා අංශයෙන් වෙන්කර වෙනම පරිපාලන අංශයක් බවට පත් කිරීමට ද යෝජනා වී තිබේ.

දෙසිය විසිපහම සිටි තැන, මේ අකටයුත්ත සිදු වූයේ එවැනි චරිතයක් අතින් නොවේ. දෙසිය විසි පහටම උදේ හවා තළ තළා නටන, සිවිල් චරිතයක් අතරිනි. දිගින් දිගටම මේ තීරුව 225 බේරා ගැනීමට තැත් කරන්නේ දැයි, පාඨකයා වෙත චිත්‍රයක් පහළ වනු ඇත. පහසුම ආකාරය වනාහි, බණින එකෙකු සමඟ එක්වී, වටේම ඉන්න වුන් හම ගැසීමය. ඇති වෙන්නට බැණ, මුල පුරන ලද එකා යන්නේය. ඉන් පසු අර විදිහට බැණීමේ අරමුණ එළි දකින්නේය. දෙසිය විසිපහටම දෙස් දොවොල් තැබීම වූ කලි, පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ මානසිකත්වයේම වැඩකි.

සමහරුන්ගේ දේශපාලනය ආරම්භ වන්නේ, ඡන්දයට මාසයකට පමණ පසුවය. ඡන්දය දා උදේ වෙනකොට වැඩේ ඉවරය. යළි ප්‍රතිඵල ඇවිත් මාසයකට පසු ‘සටන’ආරම්භ වන්නේය. ඡන්දයෙන් දිනිය නොහැකි නම්, ඒ දේශපාලන ප්‍රවාහය සඳහා විකල්ප දෙකක්, අද තිබේ. එකක් ‘ෆේස්බුක්’ රාජ්‍යයේ ආණ්ඩු කිරීමය. අනික අත දිග හැර සහ අත බෝලයක් ආකාරයට කරකවමින්, බොරු කීමය. එහෙම එකාට වැඩිම වෛරය ඇත්තේ, ඡන්දය දිනපු එකා ගැනය. මේ නිසා දෙසිය විසි පහටම ගල් ගැසීම, අර පක්ෂ දෙක තුනේ, දේශපාලනය වේ.

දෙසිය විසි පහ කෙරෙහි ඇති බුර බුරා නඟින වෛරය මෑත කාලයේදී පිරිමහන ලද ආකාර කිහිපයක් දැකිය හැකි විය. අමරකීර්ති අතුකෝරාළ වැනි කිසිදු චෝදනාවකට හිමිකම් නොකියන මන්ත්‍රීවරයෙකු මහ පාරේ මරා දමන ලද්දේ, මැර සෙල්ලම් සඳහා පිටත්ව යන අතරේ නොවේ. සිය නිවෙස බලා යන අතරේය. දෙසිය විසි පහ කෙරෙහි අවුළන ලද වෛරය ඒ අහිංසක මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බිලි ගත්තේය. මහ මඟදී මරා දමා, ඔවුන් සතු සියල්ල කොල්ල කෑමෙන් ද අනතුරුව, සමාජ මාධ්‍යයේ සිටින, දෙසිය විසි පහ විරෝධීන්, ඒ මහතා, සිය දිවි හානි කර ගත්තා යැයි, ප්‍රචාරය කළහ. එහෙම ප්‍රචාරය කළා මදිවාට, වීඩියෝ ෆුටේජස් ආදිය යොදා, කතාවක් නිර්මාණය ද කළහ.

ඒ කතාව බොරු බවට, කමෙන්ට් පළ කළ එකාලාගේ ගෙවල් සඳහා ද පිරිස් එවන බවට තර්ජනය කළහ. වර්තමානයේ එම නඩුව ඇසෙන බැවින්, එවැනි සියදිවි හානි කර ගැනීමක් ගැන හාංකවිසියක්වත් කතා නොවන බැවින්, අරහෙම ප්‍රචාරය කළ එකාලා, කොහිදැයි විමසා බැලිය යුත්තේය. අද කොහොමටත්, සිටිය යුතු වුන් එතැන්වල නැත.

සීනිගම කියන්නේ දෙවොල් දෙවියන්ගේ අඩවියයි. එන පැත්තට නොව අනිත් පැත්තට මිරිස් අඹරා, පොල් ගෙඩියක් ද ගැසූ කල්හි, සතුරා ද එසේ ඇඹරි, සුන් වී යන්නේ යැයි සිතා, මුහුද මැද්දේ ඇති, කුඩා ඉඩට, යුක්තිය පතා පූජා වට්ටි ඇතිව පිරිස් එන්නාහ. එහෙම ඇති සීනිගමට, තිත්තපත්තර වැනි නමක් යෙදිය යුතු යැයි සිතුණේ, අනුන්ට දඬුවම් දෙන ස්ථානයේ, සිදුව ඇති හොර වංචා ප්‍රමාණය මැනලා බලන කල්හිය. ඒ දේවාලයේ දෙවියන් ඇත්නම් තමන්ගේ නමට ලැබුණු මේ ධනයට, ඔහොම පිල්ලි යෑමට දෙනවා දැයි ප්‍රශ්න කළ හැක්කේය.

සීනිගම මහා දේවාලයේ රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇතැයි, බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කළේ, 2021 හා 2022 විගණන වාර්තා ඇසුරෙනි. මේ කාරණා මාධ්‍ය විසින් ඊයේ වාර්තා කරන ලදි. දැන් මිරිස් අඹරන්නේ මොකාට දැයි පළමුවත්, ඒ සඳහා සුදුසු තැන කොහේ දැයි දෙවනුවත් ජනී ජනයා වෙත ප්‍රශ්නයක් ඇති වන්නාහ.

නීති හදන ස්ථානයේ කාන්තා හිංසනය තිබේ. දේවාලයේ සල්ලි ද අවුලක් නැතිව සාක්කුවේ දමාගෙන තිබේ. මේ එහෙම කාලයකි. දෙවියන්ගෙන් අසා, මේ ගසාකෑම, ඒ යෝධයා කළා ද විය හැකිය. ලොක්කා අපිව රකින බව ෂුවර් නම්, කල්තියා දන්වන්නේ නැතිව වුව ද, එහෙම පිස්සුවක් කළ හැක්කේය. අනිත් අතට, දෙවියෝ නැති බව ෂුවර් එකටම දන්නා හෙයින් ‘අර පොර’ එහෙම කළා ද විය හැකිය. දැන් යන්නේ නඩු බැවින්, නීතිය සමඟ දෙවියන්ට වැඩේ බේරා ගත හැකිය.

මේ පිස්සු කෙළින්නේ දෙවියන් නොවේ. ළඟ සිටින වුන්ය. පාර්ලිමේන්තුවේ පිස්සු කෙළින්නේ මැති ඇමැතිවරු නොවේ. ඇතුළේ වැඩ කරන, එකෙක්, දෙන්නෙක්ය. තැන උත්තරීතර වුවත් නරි වද්දා ගත් කල්හි, ඇසෙන්නේ හූ හඬ මිස, උදාරම් නොවේ.

කොතැනින් පටන් ගත යුතු දැයි සොයා ගන්නට බැරි තැනක තිබූ රට, එක්තරා බැලන්ස් එකක් කරා දැන් පැමිණ තිබේ. ඒ සඳහා යොදන ලද වෙර වීරිය සෙල්ලම් නැත. මේ ජාතියේ අප්සෙට් ගැන්සි අතරේ, රටක් මේ ගාණට, අවුරුද්දක් ඇතුළත ගෙන එනවා කියන්නේ සෙල්ලම් නැත. ඒ බැලන්ස් එක ඔරොත්තු නොදෙන පිරිසක් ‘වැඩේ අනා ගන්නා තෙක්’යැයි තවම කල් අල්ලා බලා සිටින්නාහ. ඒ නිසා, මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් ජීවමාන දෙවියන්, අප ප්‍රවේශම් කර ගත යුත්තේය. සීනිගම දෙවියෝ ඇද්ද නැද්ද යන එක, පිහිට පතා යන එකාට බලා ගත හැකි වූවාට, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නොමැති වීම, ආපස්සට හැරවිය නොහැකි අවුලක් නිර්මාණය කරන හෙයින්, චරිත දෙස නොබලා, සංකල්පය දෙස බලා ඉවසා සිටිය යුතු යැයි යෝජනා කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT