Monday, April 21, 2025
Home » නියඟය නිසා මේවන විට ගොවීන් 22,357ක් අගතියට පත්වෙලා

නියඟය නිසා මේවන විට ගොවීන් 22,357ක් අගතියට පත්වෙලා

by chanaka
August 16, 2023 8:25 am 0 comment

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව දෛනික වී වගා හානි පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලබයි.

දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙම වී වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා කණ්ඩායම් 25ක් යොදවා ඇති අතර උඩවළවේ කලාපයේ හානි තක්සේරුව සඳහා විශේෂ කණ්ඩායමක් ප්‍රධාන කාර්යාලයෙන් යොදවා ඇති බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්.බී වීරසේකර මහතා පැවසීය.

ඊයේ දිනයට වනවිට වාර්තා වී ඇති වගා හානි තක්සේරු කිරීම් පිළිබඳ වාර්තාව අද දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී ඇත.

ඒ අනුව ඊයේ(15) දිනය වනවිටත් වැඩිම වගා හානි වාර්තා වී තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය අක්කර 19,388කි. අගතියට පත්ව ඇති ගොවීන් ප්‍රමාණය 22,357කි.

දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් උඩවළවේ කලාපයෙන් වාර්තාවේ . එය අක්කර 10,125කි. ගොවීන් ප්‍රමාණය 4050කි. ඊයේ දිනය වනවිට දිවයින පුරා වාර්තා වන වී වගා හානි අක්කර ප්‍රමාණය 37,101කි. ගොවීන් ප්‍රමාණය 32,967කි.

මෙහි අවසන් වාර්තාව සකස් කිරීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කරයි.

මෙම වගාහානි සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් දී තිබේ. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT