Home » කොන්ත්‍රාත්තුව දුන් හිටපු සෙබළා රිමාන්ඩ්
පිටිපන මාළු ලෙල්ලමේ බොඩි බිල්ඩර් ඝාතනය:

කොන්ත්‍රාත්තුව දුන් හිටපු සෙබළා රිමාන්ඩ්

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කටාන - බර්ටි විරසිංහ, කොච්චිකඩේ - ඩී. මිහිඳුකුල

මීගමුව පිටිපන මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අය කරමින් සිටි නයිදප්පුලාගේ ධනුෂ්ක ඇන්ජන් උමයංග ප්‍රනාන්දු (25) නමැති කායවර්ධන තරුණයාට වෙඩි තබා මරාදැමීමට කොන්ත්‍රාත්තුව දුන්නේ යැයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ සමත්ව ඇති අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 29 දින දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බී.පී. සමන්ත නොහොත් ආමි සමන්ත නමැති 45 හැවිරිදි වියේ පසු වන පුද්ගලයෙකි. බඩල්ගම කෙහෙල්ඇල්ලේ පදිංචිකරුවකු වන ඔහු මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකට සම්බන්ධ අයකු බව පොලිසිය කියයි. ඔහු යුද හමුදාවේද කලක් සේවය කළ සෙබළෙකි.

දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයරත්න සිල්වා මහතා සමඟ පොලිස් කොස්තාපල් 22615 ලක්මාල් මහතා මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවූහ.

සිය බිරිය සමඟ ඝාතනයට ලක් වූ තරුණයා අනියම් සම්බන්ධයක් පවත්වන්නේ යැයි සැකකරමින් සැකකරු විසින් මේ තරුණයා කොන්ත්‍රාත්තුවක් දී මරා දමා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. යම් අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් මේ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවත්, එම කාලයේ බිරිය අනියම් ඇසුරක් පවත්වා ඇති බවට මේ පුද්ගලයාට ලැබී තිබුණු තොරතුරු මත මෙම අපරාධය සිදුව ඇති බවත් එම නිලධාරියා කීය. මේ පුද්ගලයාට එරෙහිව මීගමුව මහාධිකරණයේ විභාග වන නඩු දෙකක් ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මේ වෙඩි තැබීමට පෙර වෙඩි තැබීම සැලසුම් කිරීමට මේ පුද්ගලයා ලෙල්ලමට යතුරුපැදියකින් පැමිණ ඇති බවද අනාවරණය වී ඇත. එම යතුරුපැදියත් මේ පුද්ගලයාට අයත් ජංගම දුරකෙතනයකුත් විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබිණි. ලෙල්ලමේ වෙඩි තැබීම සිදු වන්නේ පසුගිය 12 දාය. එම වෙඩි තැබීමෙන් පසු මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තුරු අතුරුදන්ව සිටියේය.

ඝාතනය කළ තරුණයා සමඟ සිය බිරිය අනියම් සම්බන්ධයක් පවත්වා ඇතැයි සැක කර ආමි සමන්ත මේ අපරාධය කළද සැබෑ ලෙසම ඔහුගේ බිරිය අනියම් සම්බන්ධයක් පවත්වා ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණයාගේ සමීපතමයකු වූ මාළු ව්‍යාපාරිකයකු සමඟ බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඒ මාළු ව්‍යාපාරිකයා පිටිපන ලෙල්ලම හොල්ලාගෙන සිටින පුද්ගලයකු බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT