‘අටමස්ථානාධිපති හිමිගෙන් ඇමැති බන්දුලට දෝස් මුරයක්‘ යන සිරස්තලයෙන් ‘දිනමිණ‘ පුවත්පත ඊයේ (15) පළ කර තිබූ ප්‍රවෘත්තිය අසත්‍ය නොවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පුද්ගලයන්ට අපහාස හෝ මඩ ගැසීමකින් තොරව සත්‍ය පුවත් පළ කිරීමට මාධ්‍ය ඇමැතිවරයා ලෙස තමා නිදහස දී ඇති බවද හෙතෙම කීවේය. දිනමිණ පුවත්පතේ මාධ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට තීරණ ගැනීම සඳහා කවරදාවක් නොවූ නිදහසක් දී ඇති බවත්, එහි ආදි කර්තෘවරුන්ට ගෞරවයක් වන ආකාරයට මාධ්‍ය කටයුතු මෙහෙයවන ලෙස ඉල්ලා ඇති බවත් ඒ මහතා පැවසීය. තමා සම්බන්ධයෙන් දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය නිර්මාණය කරවූවක් නොවන බව පැවැසූ ඇමැතිවරයා එම ප්‍රවෘත්තියේ සඳහන් සියල්ල නිවැරදි බව කියා සිටියේය. උන් වහන්සේ එසේ කළේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නොවන බවත්, එහි ඇති වී තිබෙන තත්ත්වයක් සම්බන්ධයෙන් බවත් ගුණවර්ධන මහතා කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය:
“මම සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පොදු උපදෙස් ප්‍රමාණයක් දී තිබෙනවා. එය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවා දන්නවා. අප සතියකට සැරයක් මුණගැසෙනවා. එහිදී අප කියා තිබෙන්නේ සාධාරණ ලෙස විවේචනයක්, විචාරයක් කරන්නත්, සත්‍යය පුවත්පත්වල පළ කරන්නත් කියලා. පුද්ගලයන්ට අපහාස, මඩ ගැසීමෙන් තොරව දියුණු මාධ්‍ය සංස්කෘතියක් සඳහා ලේක්හවුස් එක එහි අතීත ආදි කර්තෘවරුන්ට ගෞරවයක් වන ආකාරයට මෙහෙයවන්න කියන එකයි අපි කියලා තිබෙන්නේ. ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට තීරණ ගන්න කවරදාවත් නැති නිදහසක් දී තිබෙනවා. රූපවාහිනී සංස්ථාවේ අලුත් සභාපතිවරයටත් තීරණ ගන්න අයිතිය දී තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයට තීරණ ගැනීමට අයිතිය දී තිබෙනවා. අප දැනුම්වත් කරලා මේ තියෙන තැනින් ගොඩ එන්න තීරණ ගන්න කියලා. අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළොත් ඒක සාධාරණ නැහැ. අයි නාලිකාව ලයිකා ග්රූප් එකේ යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප කරයි කියන එක සාධාරණ නැති ප්‍රවෘත්තියක්. ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය ගෙන තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්නේ නැත් නම් කැබිනට් පත්‍රිකාව මට ලියා දී තිබෙන්නේ මගේ ලේකම්වරයෙක්ද? මේවා නිර්මාණය කළ ප්‍රවෘත්ති.
“දිනමිණ පුවත්පතේ තිබෙන ප්‍රවෘත්තිය නිර්මාණය කළ ප්‍රවෘත්තියක් නෙවෙයි. අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගයක් තනන ක්‍රියාවලිය ආරම්භ කළ අවස්ථාවට පෙර සති අන්තයේ අටමස්ථානාධිපති හිමියන් බැහැදැක්කා. ඒ අවස්ථාවේ උන් වහන්සේ මට විශාල දෝෂාරෝපණයක් කළ බව ඇත්ත. මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේ ලෝකයේ වැඩිම වන්දනාමානයට ලක් වන වෘක්ෂය තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ. එය වැඳපුදාගන්න මේ රටේ ජනතාව එනවා. ඒ අය වැඩි වැඩියෙන් පැමිණෙන්නේ දුම්රියෙන්. උන් වහන්සේ ප්‍රකාශ කළා දුම්රියක් ඇවිත් නතර කරපු වෙලාවට නගරයේ සිට ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් පාරවල් සියල්ල වහලා සමහර බැතිමතුන් බලහත්කාරයෙන් ත්‍රිරෝදවලට දාගෙන රු. 750ක් 1000ක් අරගෙන කිසිම මනුෂ්‍යයකුට බියෙන් හා සැකෙන් තොරව එතන ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා කියලා.
මම දුම්රිය දෙපාර්තමේන්තුවට කිවුවා දුම්රියේ ඉඳන් ශ්‍රී මහා බෝධිය දක්වා යෑමට වැඩපිළිවෙළක් සකස් කරලා ධාවනයක් සිදු කරන්න කියලා. ඔවුන් එය කළා. කළාට පස්සේ අදාළ බලධාරීන්ට පැමිණිලි කරලා ඒ අවස්ථාවේ අහලා තිබෙනවා දුම්රියට මහා මාර්ගයේ ධාවනය කරන්න තිබෙන අයිතිය කුමක්ද කියළා. දුම්රියට දුම්රිය මාර්ගයේ ධාවනය කරන්න පුළුවන්. මහා මාර්ගයේ ප්‍රවාහනය කරන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරලා එය නතර කළා.
මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලය පටන් ගත්තා අවස්ථාවේ මැරයන් විසින් නගරයේදී ලංගම සේවකයන්ට පහර දී තිබුණා. මම නායක හාමුදුරුවන්ට කිවුවා මේ පිළිබඳ පොලිසියට දැනුම් දුන්නේ නැද්ද කියලා. උන් වහන්සේ කිවුවා පොලිසිය දැනුවත් කළාට කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ, එය විශාල මැර කණ්ඩායමක් විසින් කරන්නේ කියලා. උන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා ආණ්ඩුවට ශ්‍රී මහා බෝධිය වැඳගන්න එන මනුස්සයට ආරක්ෂාව දීලා සීලාචාර ක්‍රමයට මිනිස්සුන්ට වන්දනා කරන්න බැරි නම් මොකටද ඔබතුමා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදියට ඉන්නේ කියලා. ඒ ටික එලෙසින්ම වාර්තා කර තිබෙනවා. ජනමාධ්‍ය ඇමැතිවරයා විදියට මාධ්‍ය නිදහසට මම දී තිබෙන ඉඩහසර සම්බන්ධයෙන් ඒ ගැන මම සතුටු වෙනවා. ඇත්ත වාර්තා කළාට කමක් නැහැ.
ඒ පුවත්පතේ අනිත් පැත්තේ තියෙනවා අනුරාධපුර මිහින්තලේ දුම්රිය මාර්ගය රජයට බරක් නොවී ප්‍රතිසංස්කරණයට ගත් පියවර අගය කරනවා කියලා රුවන්මැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණ වැවේ ඤාණතිලක නාහිමියන් කළ ප්‍රකාශයක්. ඡායාරූප සහිතව පළ කර තිබෙනවා.
අනුරාධපුරයේ සිට ඕමන්තය දක්වා සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරද්දී ඉතිරි වුණු සිල්පර කොටන් සහ යකඩ ටික පාවිච්චි කරලා මම කිලෝමීටර් එක හමාරක් දුම්රිය මාර්ගය විදෙස් ණය ගන්නේ නැතුව රටට බරක් නැතුව දුම්රිය මාර්ගයක් හැදුවා. ප්‍රේමදාස ජනාධිපතිවරයා හදලා කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතුව දැන් අත්හැරලා තියෙන මිහින්තලය දක්වා වන කිලෝමීටර් 11ක් වන කොටස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළා. ලබන ජනවාරි 5 දා එය විවෘත කරනවා.
ඇත්ත ප්‍රවෘත්තියක් නම් පුවත්පතේ පළ කිරීමේ කිසි වැරැද්දක් මම දකින්නේ නැහැ. එතැන මාධ්‍යවේදීන් විශාල පිරිසක් හිටියා; හිටපු මහ ඇමැතිවරයා හිටියා. හාමුදුරුවෝ මට කියූ දේ තමයි ඒ ලියලා තිබෙන්නේ.
ඒකට මම වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. පෝය දවසට මම පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දැනුම්වත් කරන්නම්. ඔබ වහන්සේලාත් වැඩම කරන්න. අප සිකුරාදාට, සෙනසුරාදාට, ඉරිදාට සහ පෝය දිනයට දුම්රිය සමඟ ඒකාබද්ධ බස් සේවාවක් පටන් ගන්න ලබන පෝයට බස් රථ දෙකක් එතැන්ට යොදවන්නම් කියා තියෙනවා.“