Home » පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම බස්නාහිර සංවර්ධන සැලැසුමට

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම බස්නාහිර සංවර්ධන සැලැසුමට

by chanaka
August 15, 2023 12:55 pm 0 comment

බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

දෙසැම්බර් මස 31 වැනි දිනට පළමුව අදාළ සංවර්ධන සැලසුම් ව්‍යාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සළස්වන ලෙසද අමාත්‍යවරයා එහිදි අවධාරණය කළේය. ඒ අනුව ලබන වසර මුලදී පෑලියගොඩ නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (15) පැවැති සාකච්ඡාවකට සහභාගීවෙමින් අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.

කොළඹ නගරයට ආසන්නතම නගරයක් වන පෑලියගොඩ නගරය කොළඹ නගරයට සමගාමීව ශීඝ්‍ර සංවර්ධනයක් ළගා කරගෙන තිබේ. එය කැළණි ගං මිටියාවතේ පිහිටා ඇති නිසා නිරන්තරයෙන්ම ගංවතුර තර්ජනයටද මුහුණදෙති.

එමෙන්ම පෑලියගොඩ නගරයේ පවතින අධික ජන ඝනත්වය හේතුවෙන්ද නිවාස ගැටළුව මෙන්ම සමාජ හා සෞඛ්‍ය ප්‍රශ්න රාශියක් පැන නැගී ඇත. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පෑලියගොඩ නගරය ප්‍රසන්න පුරවරයක් කිරීමටනම් ජනතාව මුහුණදෙන පීඩාකාරී ගංවතුර තර්ජනය විසඳිය යුතු අතරම ජනතාවගේ නිවාස ගැටළුවද කඩිනමින් විසඳිය යුතු බවයි.

ඒ අනුව පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊට අමතරව පෑලියගොඩ නගරය හරහා ගමන් කරන ජනතා‍වගේ පහසුව වෙනුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ ආශ්‍රිතව අවන්හල් කිහිපයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට හා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් දෙකක් පෑලියගොඩ නගර සභාව විසින් හඳුනාගෙන තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ එම ආයතන සමඟ සාකච්ඡා කොට ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති අනවසර වෙළඳසැල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සුදුසු භූමියක් ඒ ආසන්නයෙන්ම වෙන්කර දෙන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

ඓතිහාසික කැලණිය රජමහා විහාරයට අයත් පූජාභූමිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා සුදුසු ව්‍යාපෘති වාර්තාවක් කඩිනමින් සකස්කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

එම ව්‍යාපෘති සැකසීමේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගැනීම අනිවාර්ය බවද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, පෑලියගොඩ නගර සභාවේ ලේකම් තරංගා ගම්ලත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT