අධිවේගි මාර්ග ඇතුළු මාර්ග 62ක බස් රථ සඳහා මඟී ප්‍රවාහන බලපත්‍ර දීමට අදාළව කැඳවා ඇති ටෙන්ඩර් පත් විවෘත නොකර පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට අධිකරණය හමුවේ මීට පෙර ඇති කරගත් එකඟතාව සැප්තැම්බර් 8 දා තෙක් එලෙසම පවත්වාගෙන යෑමට ජාතික ගමනාගමන කොමිසම අභියාචනාධිකරණයේදී ඊයේ (10) එකඟතාව පළ කළේය.
අධිවේගි මාර්ග ඇතුළු මාර්ග සඳහා වන මඟී ප්‍රවාහන බලපත්‍ර 142ක් දීමට අදාළව ටෙන්ඩර් පත් කැඳවීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් 4ක් කැඳවූ අවස්ථාවේ මේ එකඟතාව පළ කරනු ලැබීය. අභියාචනාධිකරණ වැඩබලන සභාපති සෝභිත රාජකරුණා මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේ මේ පෙත්සම කැඳවන ලදි. එහිදී ජාතික ගමනාගමන කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙකී පෙත්සම් සම්බන්ධයෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අද දින අධිකරණයේ පෙනී නොසිටින බැවින් මේ පෙත්සම් වෙනත් දිනයක කැඳවන ලෙසයි. අදාළ ටෙන්ඩර් පත් විවෘත නොකිරීමට පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාව අනුව මීළඟ නඩු දිනය තෙක් කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙකී පෙත්සම්වලට අදාළව පවතින තත්ත්වය එලෙසම පවත්වාගෙන යන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණ ඉකුත් 2 දා ලබා දුන් නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙසයි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ රජීව් අමරසූරිය මහත්වරුද එම කරුණ විනිසුරු මඬුල්ලේ අවධානයට යොමු කළහ. ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මේ පෙත්සම සැප්තැම්බර් 8 දා නැවත කැඳවීමට තීරණය කළේය.අධිවේගි මාර්ග ඇතුළු මාර්ග 62කට අදාළව මඟී ප්‍රවාහන බලපත්‍ර 142ක් දීම සඳහා ටෙන්ඩර් පත් 4ක් කැඳවීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කළ බවට පැමිණිලි කරමින් මේ පෙත්සම ගොනු කර තිබිණි. අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, එහි සභාපති විජිත කුමාර එහි ලේකම් ජේ.සී.පී. මංජුල පෙරේරා අධිවේගි මාර්ග ප්‍රවාහන බස් සඳහා බලපත්‍ර හිමිව සිටි එම්. යමුනා, ඩී.එම්.සී. ප්‍රියංකර ඇතුළු පිරිසක් මේ පෙත්සම් 4 ගොනු කර තිබිණි. ජාතික ගමනාගමන කොමිසම එහි සභාපති ශෂී වෙල්ගම එහි සාමාජිකයන් හා එහි සාමාන්‍යාධිකාරී නලින් මිරැන්ඩා ඇතුළු දසදෙනෙක් පෙත්සම් මඟින් වග උත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.
අධිවේගි මාර්ග ඇතුළු මාර්ගවල පෞද්ගලික බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර දීමට අදාළව ටෙන්ඩර් පත් 4ක් ජාතික ගමනාගමන කොමිසම විසින් කැඳවමින් පුවත්පත් දැන්වීමක් පළ කර තිබිණි. ඒ අනුව ලැබුණු ටෙන්ඩර් පත් ඉකුත් අගෝස්තු 3 දා විවෘත කිරීමට නියමිතව තිබිණි. එම ටෙන්ඩර් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනු කරන ලදි. මේ ටෙන්ඩර් පත් කැඳවීමට පෙර නිසි ඇගයීමක් කර නැති බවද පෙත්සම්කරුවන් විසින් පැමිණිලි කර තිබිණි. එසේම අදාළ ටෙන්ඩර් පත් ඕනෑම අයකු සඳහා විවෘත කර තිබූ අතර එමඟින් දැනටමත් ප්‍රවාහන බලපත්‍ර හිමි අයට අසාධාරණයක් වන බවට ඔවුන් පැමිණිලි කර ඇත. එසේම අදාළ ටෙන්ඩර් පත් කැඳවීමට අදාළ කොන්දේසි අනුව මේ වන විට මාර්ගස්ථ මඟී ප්‍රවාහන බලපත් හිමි ඇතැම් අයට එම බලපත්‍ර නැවත ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවද එමඟින් පැමිණිලි කර තිබිණි. එබැවින් අදාළ ටෙන්ඩර් පත් කැඳවීම අහෝසි කරන ලෙසද එකී ටෙන්ඩර් පත් කැඳවීම් නිකුත් කළ පුවත්පත් නිවේදනය බල රහිත කරන ලෙසද මේ පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. දැනට කැඳවා ඇති ටෙන්ඩර් පත් සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම ඇතුළු ඉදිරි පියවර ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
මේ පෙත්සම් ඉකුත් 2 දා කැඳවූ අවස්ථාවේ අදාළ ටෙන්ඩර් පත් විවෘත නොකිරීමට ජාතික ගමනාගමන කොමිසම අධිකරණය හමුවේ එකඟතාව පළ කළේය. නීතිඥ එරන්ද වර්ණසිංහ මහතාගේ සහ රිස්වි බාචා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ සුමුදු නානායක්කාර සහ නීතිඥ රජීව් අමරසූරිය මහත්වරුන් මෙහි පෙත්සම් දෙකක් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරු සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.