Sunday, April 20, 2025
Home » සියලු අභියෝගවලට විසඳුම තිබෙන්නේ නවීන තාක්ෂණයේ දියුණුවේයි

සියලු අභියෝගවලට විසඳුම තිබෙන්නේ නවීන තාක්ෂණයේ දියුණුවේයි

සුභාෂිණී සේනානායක

by mahesh
August 11, 2023 1:00 am 0 comment

සියලු අභියෝගයන්ට විසඳුම ඇත්තේ නවීන තාක්ෂණයේ දියුණුවේ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම පනාගොඩ ඉදිකරන ලද ව්‍යවහාරික ක්ෂුද්‍රජීවී පර්යේෂණ, සංවර්ධන සහ පුහුණු පර්යේෂණාගාරය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු කෙරුණු අතර, ඒ අවස්ථාවට එක් වූ ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සාර භූමි ලංකා බයෝ ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගම විසින් කාබනික කෘෂි කර්මාන්තය හා සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කිරීම සඳහා වන අති නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත මේ නව පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.

Òරටට අලුත් යමක් එකතු කිරීමට උත්සාහ දරන ව්‍යවසායකයන්ට අපද ශක්තියක් විය යුතුයි. වෙනස්වන ලෝකයේ ඊට ගැළපෙන ලෙස වෙනස් නොවුණොත් රටක් වශයෙන් අපට අනාගත පරපුර වෙනුවෙන් යහපත් තීරණ ගැනීමට හැකියාවක් නැති වෙනවා. තාක්ෂණ ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැක්කේ සිතනවාට වඩා යමක් සිතමින් නවෝත්පාදන බිහිකිරීමෙන්. අපේ රටේ පවතින සම්පත් අතරින් වඩාත් ඌන උපයෝජිත සහ සාධාරණ ලෙස උපයෝජනය කර නොගත් සම්පත වන්නේ මානව සම්පත බව මා විශ්වාස කරනවා. ඊට රටේ පැවැති අධ්‍යාපන ක්‍රමය ද හේතු වී තිබෙනවා. වෘත්තීය අභිමුඛ දක්ෂතා, කුසලතා සහ හැකියාවන් සහිත දරු පරපුරක් ඇති නොකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සිංගප්පූරුව, චීනය, ඉන්දියාව වැනි රටවල් අප පසුකර යද්දී අපේ රට ලබා ගත් ණය පවා ගෙවීමට නොහැකි ජාතියක් බවට පත්ව තිබෙනවා.

රටේ බිහිවන උපාධිධාරීන් අතරින් 51%ක්‌ කලා උපාධිධාරීන්. ඒ අය අතරින් බොහෝ දෙනකුට දෙන්න රැකියා රටේ තිබුණේ නැහැ. තිබෙන රැකියාවලට අවශ්‍ය උගතුන් ද නැහැ. මා උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ ඊට විසඳුමක් ලෙසයි. ආරම්භයේ දී බොහෝ දෙනෙකු ඊට විරුද්ධ වුවත් මේ වන විට එහි යහපත් ප්‍රතිඵල දරුවන් භුක්ති විඳිනවා.

කෘෂිකර්මාන්තය සහ එහි නව්‍යකරණය පිළිබඳව වත්මන් දරු පරපුරට තාක්ෂණික දැනුමක් ලබාදීමෙන් උසස් අධ්‍යාපනයට හෝ ඒ මත පදනම් වූ කෘෂි ව්‍යවසායකයන් බවට ඔවුන් පත් කිරීමේ අවස්ථාව පවතිනවා. රටට අවශ්‍ය කරන ආහාර පාන අතරින් වැඩි ප්‍රමාණයක් ඉහළ ඵලදායිතාවකින් යුතුව අපේ රටේ නිෂ්පාදනය කර ගැනීමටත්, ලෝක ආහාර ඉල්ලුමට සරිලන පරිදි වැඩි කෘෂි අපනයන ප්‍රමාණයක් කර ආදායම් උපයා ගැනීමටත් කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවක්.

දැනට අපේ රටේ භාවිත කරන කෘෂිකර්ම තාක්ෂණය බොහෝ යල්පැන ගිය එකක්. මේ වන විට කෘෂි කර්මාන්තයට විශාල වශයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගන්නවා. එලෙස ලොව පවතින නවීන තාක්ෂණය සහ නවෝත්පාදන වැඩි වැඩියෙන් භාවිත කරමින් ඒ දෙසට ගමන් කිරීමේ ව්‍යාපෘතියක් මේ ආකාරයෙන් ආරම්භ කිරීම ගැන ඊට දායක වූ සියලු දෙනාට මාගේ ගෞරවය පිරිනමනවා.Ó

කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, සාරභූමි ලංකා බයෝ ප්‍රොඩක්ට්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමින්ද අබේගුණසේකර මහත්වරුන් ද, කෘෂිකර්ම ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ ආයතන නියෝජනය කරන විද්වතුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT