තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරැට් ආදේශක සහ පයිප්ප දුම්කොළ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් ඇල්ල නගරයේදී පෙරේදා (09) අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇල්ල පොලිස් වසමේ ඇල්ල නගරයේ දී වැටලීම සිදුකර ඒවා සන්තකයේ තබාගෙන සිටි දියතලාව පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට පත්විය.
පොලිස් විශේෂ කාර්ය බළකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී වී.සී.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.