හිටපු ජනාධිපතිතුමාට කතා කරන්න දීලා තිබුණේ විනාඩි හතයි
– මන්ත්‍රී දයාසිරි ජයසේකර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අංගජන් රාමනාදන් මහතාට පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාවේ නියෝජනය ලබා දී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 ) සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
සභාවෙහි කටයුතු පිළිබඳ කාරක සභාවේ නියෝජනය විපක්ෂයට ලැබී නොමැති නම් එම ගැටලුව විපක්ෂ නායකවරයා සමඟ විසඳාගත යුතුයි. එහිදී මෙවන් සංවාදයක් ඇති විය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර –
හිටපු ජනාධිපතිතුමාට කතා කරන්න දීලා තිබුණේ විනාඩි හතයි. අවසානයේ විනාඩි දෙක තුනක් එතුමාට කතා කරන්න ලැබුණා. ඊයේ පස් වතාවක් මේ සභාව කැඳවන්න වුණේ ප්‍රශ්න විසඳපු නැති නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාවේ නියෝජනය දීලා තියෙනව කියනවා. ආණ්ඩුවට සම්බන්ධවෙලා ඉන්න කට්ටියට එහෙම අවස්ථාව දීල ඇති. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට එහෙම අවස්ථාවක් ලැබිල නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරල තියෙන්නේ විපක්ෂයේ දේශපාලනය කරන්නයි. ඒ නිසා අපිට ඒ අවස්ථාව ලබා දෙන්න.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා –
අපි හෙට සභා කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ ගැන කතා කරමු.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා –
මම කරපු ප්‍රකාශයක් ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරලා පාර්ලිමේන්තුවට ආවේ අංගජන් රාමනාදන් මන්ත්‍රීතුමා විතරයි. එතුමා මේ කාරක සභාවේ ඉන්නවා. හැබැයි පොහොට්ටුව ලකුණින් තරඟ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා ඉන්න නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇමතිතුමන්ලාටත් ඒ අවස්ථාව ලබාදීල තියෙනවා. විපක්ෂයේ අයට අවස්ථාව ලැබිල නැත්නම් ඒ ප්‍රශ්නය විසඳගන්න ඕනෑ විපක්ෂ නායකතුමා එක්කයි.