කන්තලේ කැපූ ගොයමට හානි
ගස් කඩා වැටී යාල්දේවී පැය 4ක් නවතී
හොරොව්පොතාන නිවාස 45කට හානි
නැඟෙනහිර, ඌව, වවුනියාව, මුලතිව් ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉදිරි දින කිහිපයේ අවස්ථාව තිබෙන බවත් අද (11) සහ හෙට (12) නිරිතදිග කොටසේ ඇතැම් ස්ථානවලට ද වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.
පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව සමඟ අයිස් කැට පතිත විය. නිවාස ගණනාවකට ද හානි සිදුවී තිබේ.
මොනරාගල දිස්ත්‍රික්කයට බලපා තිබූ දැඩි නියං තත්ත්වය නිමා කරමින් ඉකුත්දා (09) සවස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැලුණු අතර අයිස් කැට ද වැටී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මොනරාගල, බුත්තල, මඩුල්ල සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට මෙලෙස වැසි ලැබිණි.
මොනරාගල වැදිකුඹුර, මාරාව 32 කොටස ප්‍රදේශවලට විනාඩි දෙකක පමණ කාලයක් වැස්සත් සමඟ අයිස් කැට වැටී තිබේ.
මහ වැස්සත් සමඟ ගස් කඩා වැටීමෙන් නිවාස දහයකට පමණ අර්ධ හානි සිදු වී ඇති බව මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඒ පිළිබඳව විස්තර ලබාගෙන වන්දි ගෙවීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මාස හයකට අධික කාලයක් පැවති නියඟය හමාර කරමින් කැබිතිගොල්ලෑව සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වාහල්කඩ ඩී 01,02,04,05 සහ 06 ගම්මානවලට පෙරේදා (09) සවස දැඩි සුළං සමඟ අයිස් වැස්ස හේතුවෙන් ප්‍රදේශයේ නිවාස හැට පහකට ආසන්න සංඛ්‍යාවකට වූ අලාභය තක්සේරු කොට එම නිවෙස් හිමියන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව කැබිතිගොල්ලෑව සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්වරු ඊයේ (10) පැවසූහ.
ඇදහැලුණු වර්ෂාව සහ පැවැති සුළං තත්ත්වය හේතුවෙන් වාහල්කඩ ඩී 04 ,ඩී 05 සහ ඩී 06 යන ප්‍රදේශවල නිවාස විසි එකකට හානි සිදුවී ඇති අතර ඉන් නිවාස දහයකට පූර්ණ හානි සිදුවී ඇති බවට ග්‍රාම නිලධාරීන් තමාට වාර්තා කර ඇති බවත් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක මහතා පැවසීය.
මේ අතර වර්ෂාව සමඟ පැවැති එම සුළං හේතුවෙන් හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වාහල්කඩ ඩී 01 සහ ඩී 02 යන ගම්මානවලට අයත් නිවාස හතළිස් පහකට පමණ හානි සිදුවී ඇති බවත් ඉන් නිවාස හයකට පූර්ණ හානි සිදුවී ඇති බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් විසින් වාර්තා කොට ඇති බවත් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් එම්.කේ.ජී. මොරවක මහත්මිය පැවසුවාය.
සුළං නිසා ප්‍රදේශයේ ගස් කිහිපයක් කඩා වැටී ඇති අතර වාහල්කඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ජී.එම්.ඩී. හරිශ්චන්ද්‍ර මහතාගේ උපදෙස් මත වාහල්කඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඩා වැටුණු ගස් සහ අතු ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.
පෙරේදා (09) සවස 3.00ට පමණ එම ප්‍රදේශයට දැඩි සුළං සමඟ ඇදහැලුණු වර්ෂාව අතරතුර අයිස් වැස්සක් ද පතිත වී තිබිණි. එම අවස්ථාවේ විශාල ප්‍රමාණයේ අයිස් කැට පතිත වූ බව වාහල්කඩ ඩී 04 ගම්වැසියෝ පැවසූහ.
මේ අතර වාහල්කඩ ඩී 04 ගම්මානයේ හතළිස් හය හැවිරිදි පුද්ගලයකු ඇස්බස්ටෝස් තහඩුවකට කැපීමෙන් සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඩී 04 රෝහලට ඇතුළත් කර ඇති බව වාහල්කඩ පොලිසියේ ප්‍රකාශකයකු පැවැසීය.
මාස 4ක පමණ කාලයක් තිබූ තද පෑවිල්ලෙන් පසු පෙරේදා (09) කන්තලේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇදහැලිණි. වර්ෂාව හේතුවෙන් කපා වේළමින් තිබූ වී අස්වැන්න මෙන්ම කපන ගොයමට ද බලපෑම් වූ බව ගොවීහු කියති. මේ කන්නයේ කන්තලේ ගොවීන් ගොඩ මඩ ඉඩම් අක්කර තිස් දහකට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කය පුරා පසුගිය මාස කිහිපයේ පැවැති දැඩි නියං තත්ත්වය අවසන් කරමින් පෙරේදා (09) පස්වරුවේ වැසි ඇදහැලිණ.
පස්සර, බණ්ඩාරවෙල, හාලිඇළ, කැප්පෙටිපොළ, දියතලාව, ලුණුගල ඇතුළු ප්‍රදේශවලට පැය එකහමාරකට වැඩි කාලයක් වැසි පැවැති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.
නියඟය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා පිහිටි රක්ෂිත වනාන්තර ගිනි තැබීම් ඇතුළු පාරිසරික ගැටලු රැසක් ඇති විය.
මාස කිහිපයකට පසු වවුනියාව ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් පළාත් කීපයකට අයිස් පතිත වී ඇති අතර වර්ෂාව සමඟ පැමිණි සුළං තත්ත්වය නිසා දුම්රිය මාර්ග, මහා මාර්ගවල ගමනා ගමන කටයුතුවලට බාධා ඇති විය.
වවුනියාව පදවිය ආදී ප්‍රදේශවල නිවාස 23ක් වර්ෂාවට හා සුළඟට හසු වී අර්ධ වශයෙන් විනාශ වී ගොස් තිබේ. පදවියේ බෝගස් හන්දිය ප්‍රදේශයට හා වැලිඔය ප්‍රදේශයට වර්ෂාව සමඟ අයිස් කැට පතිත වී තිබේ.
වවුනියාව පූනෑව හා සියඹලාගස්වැව ප්‍රදේශවලට තද සුළං සමඟ වැසි පතිත වූ අතර සුළඟට දුම්රිය මාර්ගය හරහා ගස් කිහිපයක් කඩා වැටීම නිසා ඒවා ඉවත් කරනතුරු යාල්දේවී දුම්රිය ගමන පැය හතරක් තිස්සේ නතර වී තිබුණි.
වර්ෂාව ඇතැම් පළාත්වලට පැය දෙකක පමණ කාලයක් පැවතිය ද කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රමාණවත් ජල ධාරිතාවක් එම වර්ෂාව හේතුවෙන් ලැබී නොතිබුණි.
වවුනියාව නගරය හා මන්නාරම මාර්ගයේ ස්ථාන කීපයක ගස් කඩා වැටීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා මෙන්ම විදුලිබල සැපයුම ද පැය පහක පමණ කාලයක් විසන්ධි වී ගොස් තිබුණි.
වවුනියාව මහ රෝහල ඇතුළු රජයේ කාර්යාල ගණනාවක්ම සවස් කාලයේදී විදුලිය නැතිකම හේතුවෙන් අඳුරු වී ගොස් තිබුණි.