පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැක මත බන්ධනාගාරගතව සිටින ත්‍රස්ත සැකකරුවන් විසිපස් දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අද (11) දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය ඊයේ (10) නියෝග කළේය.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවීය.
විත්තිකරුවන්ට අධිචෝදනා කියවා දීම ඊයේ දින සිදු කෙරිණි.
නඩුවේ අධිචෝදනා 23270 කින් චෝදනා 19596ක් දක්වා ඊයේ දින කියවා දීම සිදු කෙරිණි. එම චෝදනාවන්ට තමන් නිවැරැදිකරුවන් බව විත්තිකරුවෝ ප්‍රකාශ කළහ.
අද (11) දිනයේ දී චෝදනා සියල්ල කියවා දීම අවසන් කරන බව පැමිණිල්ල මඟින් කරුණු ඉදිරිපත් කෙරිණි.
සිංහල බසින් අධිචෝදනා කියවා දීම කොළඹ මහාධිකරණයේ අධිකරණ භාෂා පරිවර්තක ඩී. ඩී. අබේගුණවර්ධන සිදු කළ අතර, දමිළ භාෂාවෙන් එම චෝදනා කියවා දීම ඒ. එස්. එම්. රිස්වාන් සහ ඩී.ටී. සදාම් මහත්වරු සිදු කළහ.
මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇති අතර, නඩුවේ දෙවැනි විත්තිකරු මේ වන විට මියගොස් ඇති හෙයින් ඔහුට එරෙහි අධිචෝදනා ඉවත් කර මෙම චෝදනා පත්‍ර කියවා දීම සිදු කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පෙනී සිටියාය.
අගතියට පත් කොළඹ රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ ශමිල් සිල්වා මහතා පෙනී සිටියේය.