Home » මං යුද්ධයත් එක්ක ගැටුණු මිනිහෙක් විෂ්ණු වාසු

මං යුද්ධයත් එක්ක ගැටුණු මිනිහෙක් විෂ්ණු වාසු

by mahesh
August 11, 2023 1:00 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

ප්‍රවීණ සංගීත හා චිත්‍රපට අධ්‍යක්ෂ විෂ්ණු වාසුගේ අලුත්ම වාර්තා චිත්‍රපටය PRABHAKARAN’s peacock දැන් ‘විෂ්ණු වාසු’ යූ ටියුබ් චැනලයෙන් එළි දක්වා ඇත. ප්‍රභාකරන්ගෙන් ‘වන්නියේ මොනරා’ විරුදාවලි ලද, ඔහුගේ පුද්ගලික, ළමා නර්තන කණ්ඩායමේ සාමාජිකයකු වූ ශිවාගේ ජීවිත කතාව වටා එය ගෙතේ. එසේම විෂ්ණු මින් පෙර Gandhi’s children මෙන්ම එල්.ටී.ටී.ඊයේ ළමා සොල්දාදුවන් වටා ගෙතුණු Butterfly ආදී වාර්තා චිත්‍රපට එළිදැක්වීය. අපි දැන් ඔහු දෙසට හැරෙමු.

අපි සිනමාවෙන්ම කතාවට පිවිසෙමු?

මං වාර්තා චිත්‍රපටකරුවෙක්. මගේ වියදමෙන් බස් එකේ, කෝච්චියේ ගිහින් අතේ ගෙන යා හැකි කැමරාවෙන් රූගත කරනවා. ඒවා වැඩි දෙනකුට දකින්නට සැලැස්වීමයි මගේ බලාපොරොත්තුව. චිත්‍රපට උලෙළවලට, සමාජ මාධ්‍ය ජාල වලටත් ඒ චිත්‍රපට එක් කරනවා. බරපැන වලටත් මා ළඟ මුදල් නැති නම් විදෙස්ගත මගේ මිතුරන් නැතිනම් ප්‍රේක්ෂකයන් දෙන මුදලකින් අවම වියදමෙන් මං වැඩේ කරන්නේ. චිත්‍රපට කීවාට එහෙමට වර්ණ ගැන්වීමකුත් නැහැ. සංස්කරණය කරන්නේත් මං. ඉන්දියාව ගැන නොකියා විෂ්ණු වාසු ගැන කතා කිරීම අපහසුයි? ඒක දිග කතාවක්.

ගුවන් විදුලි කලාව ඉගෙන ගන්න භාරතයට ගිය තරුණ මම නැවතුණේ දකුණු ඉන්දියානු සංගීත ආශ්‍රමයක. ඒක දුෂ්කරතා මැද කළ හැදෑරීමක්. මගේ පරිවාස කාලය අවුරුදු 3ක්. මුල් මාස තුනේදී පැරැණි ආත්මයෙන් මිදෙන්න ඕනෑ කරනවා. ඒක අභිනිෂ්ක්‍රමණයක්. ඒක එච්චරටම ආධ්‍යාත්මයට නැඹුරු ඉගෙනීමක්. මගේ ගුරුවරයා (ගුරුජි) වික්කු විනයාක්රාම්. ශ්‍රේෂ්ඨ චරිතයක් ඇති ගුරුජි ආධ්‍යාත්මිකවත් සුපිරිසුදු කෙනෙක්. මං පාන්දර තුනට ඇහැරෙන්නේ. ඉන් පස්සේ මල් ගේන්න කිලෝමීටර් හතරක් පයින් යනවා. ආපහු පයින්ම එනවා. ඒ වතාවත් නිම කරලා පිරිසුදු වෙලා ඉගෙනුමට බිම ඉඳ ගන්නවා.

දවසකට පැය දහ හතක පුහුණුව අනිවාර්යයි. මදුරාසියට ජූලි – සැප්තැම්බර් වර්ෂා අධිකයි. ඒ වුණත් මං උතුරන කුණු කානු මැදින් යන්න ඕනෑ. නැවත දෙසැම්බර්, ජනවාරිය සීතලයි. උණුසුම් ඇඳුම් නැති නම් රෑට නින්දකුත් නැහැ. මුල් කාලයේ මං ගුරුජිගේ ගෙදරමයි හිටියේ. කල්යත්ම ඉගෙනුම් වැඩ නැති වෙලාවට මට පිටතට යන්නත් ලැබුණා.

ඔබ මෙරට වාද්‍ය වෘන්දවල එතරම් දකින්න නැහැනේ?

හර්ෂ මාකලන්ද, රවිබන්දු විද්‍යාපති, උපුල් මධුසංඛ ආදීන් එක්ක මං එකට වැඩ කරනවා. එකම තාලයකට දිගින් දිගටම වාදනය මට එතරම් රුචි දෙයක් නෙවෙයි. ඒ කොහොම වුණත් චිත්‍රසේන කලාකරුවා ළඟින් ඇසුරු කළ කාලයේදී එතුමා මට කියූ දෙයක් වුණේ, මේ රටේ හුඟක් කලාකරුවන් පවතින්නේ රසිකයන්ගේ නොදැනුවත්කම හින්දා කියලායි.

අපි නැවතත් වාසු කියන සිනමාකරුවා මුණගැසෙමු?

මං යුද්ධයත් එක්ක හැප්පුණු මිනිහෙක්. යුද්ධ කාලේ මං කොළඹ හිටියේ නැහැ. උතුරේ, දකුණේ මායිම් ගම්මානවල ඇවිද්දා. ඒ අත්දුටු දෙයින් චිත්‍රපටි කළා. ඒ කිසිවක් මං ආර්ථික ලාභ, සම්මාන බලාගෙන කළ ඒවා නෙවෙයි. මගේ තෘප්තිය පිණිසයි කළේ.

අපි එතැනින් උතුරු පළාතේ ශිවා දිහෑට හැරෙමු?

ඒ, එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ සැඟවුණු පැත්තක්. අවුරුදු 8 තරම් වයස්වල ළමුන්ගෙන් හැදුණු නර්තත, සංගීත කණ්ඩායම් දෙකක් ඔහුට තිබූ බව කියැවෙනවා. ශිවා ඒ නර්තන කණ්ඩායමේ හිටිය කෙනෙක්. අද තරුණයෙක් වන ඔහු උතුරේ හරි ප්‍රසිද්ධයි. ඒ කාලේදීත් ප්‍රභාකරන් ශිවාට වන්නියේ මොනරා කියන විරුදාවලි පටබැඳී තියෙනවා. ඒ සංගීත, නැටුම් කණ්ඩායම් දෙකේ ළමුන්ට යුද පුහුණුව දීමක්වත්, යුද්ධයට සම්බන්ධ කර ගැනීමක්වත් කර නැහැ. ඒ අයට මාසිකව රුපියල් 8000ක දීමනාවක් ගෙවා තිබුණා. ශිවා අඳුරු ළමා කාලයක් අත්විඳි උතුරේ තවත් කෙනෙක්. එයාගේ වැඩිමල් සොහොයුරා යුද්ධයට අරන් ගිහින්. ඒ වේදනාවෙන් ඒ අම්මා මිය ගිහින්. සොහොයුරාත් ඊට මාස තුනකට පස්සේ මරණයට පත් වෙලා.

අපි දැන් මේ කතාවේ අවසානයට ළංවෙලා. අපේ රටේ සංගීත අධ්‍යාපනය ගැනත් කතා කළොත්?

මට මේ රටේ විශ්වවිද්‍යාල උපාධි නැහැ. මං දේශපාලන කෝවට අහුවුණු කෙනකුත් නෙවෙයි. ඒකට මං කැමැතියි. පිටරටවල සංගීත පර්යේෂණ අංශයේ දේශන වලට කතා කළ වෙලාවේ ඉඳන් මගේ කකුල් වෙව්ළනවා වගේ වෙනවා. ඒ තරමටම ඒ අය ප්‍රශ්න කරනවා. හාරාවුස්සනවා. ඒත් අපේ රටේ එහෙම නැහැ. ‘මමි’ වලට දේශන කරනවා වගේ. එහෙම දේවල් වලට මං යන්නේත් නැහැ. අනෙක, මිනිත්තු 40ක කාල පරිච්ඡේදයකින් සංගීතය විෂයය උගන්වන්න කොහොමටත් බැහැ. ඉන් එහාට උගන්වන්න මහන්සි ගත් මගේ ගුරුවරයකු වූ මිතුරකුට ශිෂ්‍යයන් කියලා තිබුණේ ඒ දේවල් සිලබස් එකේ නැහැ කියලායි. 6 ශ්‍රේණියෙන් පස්සේ විභාග සමත් වීමම මිසෙක රසකාමියෙක් බිහි කරන සෞන්දර්ය අධ්‍යාපනයක් මේ රටේ නැහැ. මේ රටේ ඉන්නේ දූපතක තනිවූ මිනිස්සු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT