මහ බැංකු පරිශ්‍රයට නීති විරෝධී ලෙස ඇතුළු වී එහි ලොබියේ විරෝධතාවක නිරත වූ ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු නව දෙනෙක් කොටුව පොලිසිය මඟින් ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පිරිස තනි තනිවම සහ දෙදෙනා බැගින් මහ බැංකුවට පැමිණි අමුත්තන් ලෙස මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී එකවරම බෝඩ් ලෑලි ප්‍රදර්ශනය කරමින් විරෝධතාව දක්වා ඇති බව පොලිසිය කියයි.
අසාධාරණ දඩ පොලිය ඉවත් කරනු, ව්‍යවසායකයන් නසන පරාටේ පනත වහා හකුළා ගනු, සීසර්ලා මෙරටින් තුරන් කරමු, තැන්පත්කරුවන්ට සියයට අටක ලීසිං මාෆියාවේ පොලිය සියයට විසිඅටක කොහොමද වෙනස, මහ බැංකුව නිදිද යන පුවරු මෙම පිරිස විසින් ප්‍රදර්ශනය කර තිබේ.
මහා බැංකුවෙන් කළ දැනුම් දීමකින් අනුව කොටුව පොලිසියේ නිලධාරීන් එහි ගොස් මහ බැංකු ලොබියේ සිටි විරෝධතාකරුවන් ඉවත් කර ඇත. එහිදී ඔවුන් මහ බැංකුවේ බිම හිඳගෙන විරෝධතාවක් දක්වා තිබේ.
එහිදී ඔවුන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීම හේතුකොටගෙන පොලිසිය විරෝධතාවයේ සිටි පිරිසේ නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම උද්ඝෝෂණයට පුද්ගලයන් විසි දෙනකු පමණ එක්ව සිට ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් 08 දෙනෙකි.
අනෙක් පුද්ගලයන් දුව ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු රෝහල්ගත කර ඇති අතර අනෙකුත් සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිසියේ රඳවා තබා තිබිණි. අත්අඩංගුවට ගෙන ඇති පිරිස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.