“ඩුබායිවලදි මුහුණු පොතෙන් යාළු වෙලා ලංකාවට ඇවිත් ටික දවසකින් නැවත ඉතාලි යනතුරු නවතින්න ගෙයක් බලන්න ගිහින් එද්දි යතුරු පැදි අනතුරකින් මගේ කෝෂි මාව දාල ගියා” යැයි ඉකුත් 06 වැනිදා රාත්‍රී පනාගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් මියගිය තරුණියගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී ඇයගේ පෙම්වතා බව පැවසෙන ගාල්ල, වලහන්දූව, පහළවත්ත, අංක 402හි පදිංචි එම්. විනුර ලක්ෂාන් පෙරේරා නමැති (27) හැවිරිදි තරුණයා පැවසීය .
හෙතෙම මේ බව කියා සිටියේ මාලබේ කහන්තොට පාරේ අංක 233/03හි පදිංචි කෝෂණී ආලෝක්‍යා නමැති (25) හැවිරිදි තරුණියගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි. මෙම හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් පෙරේදා (07) හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදු කෙරිණි. මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිහේවා මහත්මිය විසින් නිකුත් කරනු ලැබ තිබුණි.
එහිදී තවදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු මෙසේද කීය.
“මගේ ගම ගාල්ල වලහන්දූව. මම රැකියාව කරන්නේ කොළඹ ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක ලිපිකරුවක් වශයෙනුයි. මීට පෙර මම රැකියාවක් සඳහා ඩුබායි ගිහින් ඉද්දි මුහුණු පොත හරහා කෝෂිව හඳුනාගත්තා. ඊට පස්සේ අපේ විවාහය සඳහා මීට මාස කිහිපයකට පෙර ලංකාවට ආවා. සමහර දවස්වලට මම කෝෂිව මුණගැහෙන්න එයාගෙ ගෙදරට යනවා. 06 වැනිදා උදේ දහයට විතර අපි දෙන්නා දියත පාක් එකට ගිහින්, එතන ටික වෙලාවක් ඉඳලා, වෙඩින් එකෙන් පස්සේ ටික දවසක් ලංකාවේ ඉන්න ගෙයක් බලන්න හංවැල්ලට ගියා. අපි දෙන්නම ඉතාලි යන්නයි හිතාගෙන හිටියේ. ඒ වැඩේ කරගන්නකල් ටික දවසක් ඉන්න තමයි මේ ගේ බලන්න ගියේ. ඒ ගේ බලලා ඊට පිටුපසින් තිබුණු දොළකුත් බලල කරුවල වැටෙද්දි කෝෂිව ගෙදරට බස්සන්න ආවා.ගොඩගම හන්දියෙන් අතුරුගිරිය පාරේ එද්දි පනාගොඩ හරියෙදි පාරේ ගියපු වාහන ටිකක් ඉස්සර කරන්න යද්දි පාර කාපට් කරන්න පාර මැද සවිකර තිබූ යකඩ තහඩුවකට යතුරුපැදියෙ රෝදය ලෙස්සා ගිහින් පාරේ දකුණු පැත්තට පෙරලුණා. ඊට පස්සේ අපි දෙන්නව යතුරුපැදියෙන් අතෑරිලා අඩි හතළිහක් පමණ පාර දකුණු පැත්තට ඇදීගෙන ගියා. මම ඉක්මනට නැඟිටලා ඇවිත් කෝෂිට කතා කළා. ඒත් එයා කතා කළේ නෑ. නහයෙන්, කටින් ලේ ආවා. සුදු පාට ටී ෂර්ට් එක රතුපාට වුණා. ඇඳගෙන හිටිය ඩෙනිම් කලිසම ලේවලින් තෙත් වුණා. ඒ පාර මම පාරේ තිබුණු ත්‍රීවිල් එකක නග්ගගෙන හෝමාගම රෝහලට අරන් ගියා. එයාට හොඳටම අමාරුයි. එයා කතා කළේ නෑ. මේ ගැන එයාගේ අම්මට මම කෝල් එකක් අරන් කිව්වා. ඊට පස්සේ ඒ අය රෝහලට ආවා. එච්චරයි මට කියන්න තියෙන්නෙ. මගේ ජීවිතේ කරගන්න හිටිය කෝෂි මම හිතපු නැති විදිහට හිතපු නැති වෙලාවක මාව දාලා ගියා. මට ඒක දරාගන්න බෑ.”
මියගිය තරුණියගේ මව ද මෙහිදී සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ, “පසුගිය 6 වැනිදා දුව උදේ ගමනක් ගියා. හවස් වනතුරු ආවෙ නැති හින්දා රෑ 7ට විතර මම කෝල් එකක් දුන්නා. ඒ වෙලාවේ කිව්වේ අම්මේ මම ගමනක් ගිහින් එන ගමන් ඉන්නේ දැන් ගොඩගම කියලා. ඒ පාර මම කිව්වා ඉක්මනට ගෙදර එන්න කියලා. ඒ එන අතරෙ රෑ 7.30 පමණ පනාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදිය පෙරළී සිදු වූ අනතුරින් මේ දෙන්නව හෝමාගම රෝහලට ඇතුළු කරලා. ඊට පස්සේ තමයි මට ඒ පුතාගේ ෆෝන් එකෙන් කෝල් කළේ. මමත්, සැමියාත් හෝමාගම රෝහලට යද්දි දුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ට්‍රොලියක් මත තබා තිබුණා. ටික වෙලාවක් ගියාට පස්සේ දැනගන්න ලැබුණා දුව නැති වුණා කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දේහය මම භාර ගන්නවා. මරණය පිළිබඳ සැකයක් නෑ.” යැයි කියාය.
ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව අනුව රිය අනතුරකින් මියගිය තරුණියගේ හිස මොට පුෂ්ඨයක ගැටීමෙන් මොලයට සිදු වූ බරපතළ හානි මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා නිගමනය කළේය. මීට අමතරව රිය අනතුරට සම්බන්ධ යතුරුපැදියේ රියැදුරු අත්අඩංගුවට ගෙන බලප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පො.කො. (98408) සුබසිංහ පරීක්ෂණ මෙහෙයවීය.