පාර්ලිමේන්තු ගෘහපාලන අංශයේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇති ලිංගික හිංසන යට ගැසීමට ඇතැම් ප්‍රධානීන් උත්සාහ දරන බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව මඟින් සාධාරණ පරීක්ෂණයක් සිදු කර හිංසන කළ නිලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් දෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළාය.
ගෘහපාලන අංශයේ ඇතැම් කාන්තාවන්ට ලිංගික හිංසන සිදු නොවූ බවට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ලියුම් අත්සන් කරමින් සිටින බවට වාර්තා වන බව ද මන්ත්‍රීවරිය සඳහන් කළාය. මේ සිද්ධීන් හේතුවෙන් පාර්ලිමේන්තුවට ද ලොකු කැළලක් ඇති වූ බව ද රෝහිණි විජේරත්න මහත්මිය සඳහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේ ද පැවසුවාය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන වෙනවා කියලා පසුගිය දවස්වල පුවත්පත්වල සහ සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති දිගට හරහට පළ වුණා. මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න මහලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් ඒ පරීක්ෂණ යනවා. මේක මන්ත්‍රීවරුන් සම්බන්ධ සිද්ධියක් නොවෙයි.
ඒ සේවිකාවන්ගේ ඉහළින් ඉන්න අයගෙන් තමයි සිද්ධ වෙන්නේ. දැන් නිලධාරීන් පිරිසක් හිංසනයට ලක් වූ අයගෙන් එහෙම දේවල් සිද්ධ වුණේ නැහැ කියලා අත්සන් ගනිමින් ඉන්නවා. ඒ නිසා ඒ අයට බයක් තියෙනවා මේ පරීක්ෂණය හරියට සිද්ධ වෙයිද නැද්ද කියලා. මෙතන මහලේකම්තුමිය ඉන්නවා. මේ සිද්ධිය ගැන සාධාරණ විදියට පරීක්ෂණයක් තියලා හිංසන කරපු අයට දැඩි දඬුවම් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මේ සිද්ධිය පාර්ලිමේන්තුවටත් ලොකු කැළලක්. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ ගැන දැන් කමිටුවක් පත් කරලා තියනවා. ඒ විමර්ශන කටයුතු සාර්ථකව සිද්ධ වෙනවා.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා,
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් මහලේකම්තුමිය විශේෂ කමිටුවක් පත් කරලා තිෙයනවා. ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙක් ඒකේ ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඊට පස්සේ ඒ ගැන කථානායකතුමාට දැනුම් දෙනවා. අවශ්‍ය ක්‍රියාමාර්ග ඊට පස්සේ ගන්නා බව දැනුම්දී තිබෙනවා.