Home » කඳානේ කම්හලක ගින්නකින් ගණකාධිකාරි මරුට

කඳානේ කම්හලක ගින්නකින් ගණකාධිකාරි මරුට

දුම වැදී සෙබෙස්තියන් බාලිකාවේ දැරියෝ 200ක් රෝහලට

by mahesh
August 9, 2023 1:00 am 0 comment

ජා-ඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව, ප්‍රසංග පෙරේරා

කඳාන උස්වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රසායනික කම්හලක ඊයේ (08) උදේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් කම්හලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, කම්හලේ ගණකාධිකාරීවරයා මිය ගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කම්හලේ ගණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ වයස අවුරුදු 47ක් වූ හොරගොල්ල ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සමන්ත අබේරත්න යන අයකු බව පොලිසිය පවසයි.

කොළඹ, ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකක නාවික හමුදාවේ සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන් මැඬපවත්වා ඇත.

මේ අතර ගිනිගත් කම්හල ආසන්නයේ පිහිටි සාන්ත සෙබෙස්තියන් බාලිකා පාසලේ දැරියන් 200කට ආසන්න පිරිසක් ගින්න නිසා ඇතිවූ විෂ වායුව ආඝ්‍රාණයවීමෙන් ශ්වසන අපහසුතාවලට පත්ව රාගම ශික්ෂණ රෝහලට සහ ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි ජා-ඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජයකොඩි මහතා පවසයි.

රාගම ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා විෂ දුම ආඝ්‍රාණය නිසා ශ්වසන අපහසුතාවට පත් පාසල් දැරියන් 150ට ආසන්න පිරිසක් ඇතුළු කර ඇති අතර, එයින් 35 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට වාට්ටුවලට ඇතුළත් කළ බව රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ලියනගේ රණවීර මහතා පැවසීය. රෝහලට ඇතුළත් කළ දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ආනියකන්ද ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික පතිරණ මහතා පවසා සිටියේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ පාසල් දැරියන් 74කින් දැරියන් 6 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට වාට්ටුවට ඇතුළත් කොට අනෙකුත් දැරියන්ට ප්‍රතිකාර දී ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කළ බවයි.

කම්හලේ ඇතිවූ හදිසි ගින්න පිළිබඳ කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතාගේ උපදෙස් මත නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT