Home » ශ්‍රීලන්කන් ප්‍රවාහන අධ්‍යක්ෂ ඉන්ද්‍රකුමාරගේ ඝාතනය අබිරහසක්

ශ්‍රීලන්කන් ප්‍රවාහන අධ්‍යක්ෂ ඉන්ද්‍රකුමාරගේ ඝාතනය අබිරහසක්

රෝහලේ සිටියදී පොලිසියට කිසිදු කටඋත්තරයක් දී නෑ

by mahesh
August 9, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ කේ.ඒ. ඉන්ද්‍රකුමාර ප්‍රනාන්දු (61) මහතාගේ ඝාතනය අබිරහසක් බවට මේ වන විට පත්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් ඇති තොරතුරු එකිනෙකට පරස්පර බවත් ගැඹුරින් විමර්ශනයක් සිදු කිරීමට සිදුව ඇති බවත් එම නිලධාරියා කීය.

ගම්පහ කොටුගොඩ උඩුගම්පොල පාරේ පදිංචිව සිටි ඉන්ද්‍රකුමාර මහතා පිහි ඇනුමකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 03 වැනිදාය. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය යන්නේ පසුගිය 06 වැනිදාය.

මෙම දින තුන තුළ ඔහු පොලිසියට කිසිදු ප්‍රකාශයක් දී නැති අතර තමාට පිහියෙන් ඇන්නේ කවුරුන්දැයිවත් කිසිවක් කියා නැත.

කටඋත්තරයක් ගැනීමට රෝහලට ගිය මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන්ට ඒ හැම අවස්ථාවකදීම ඔහු අතින් සංඥා කරමින් පවසා ඇත්තේ තමාට කථා කරන්නට බැරි බව යැයි ද පොලිසිය කියයි.

මෙම පිහිඇනුම සිදු වී ඇත්තේ නිවෙසේ මෙහෙකාරිය සමඟ ඉන්ද්‍රකුමාර මහතා රැඳී සිටියදීය. මෙහෙකාරිය වාරියපොළ පදිංචිකාරියක බවත් ඇය මෙම නිවෙසේ මෙහෙකාර සේවයට පැමිණ ඇත්තේ එදින උදෑසන කාලයේදී බවත් පොලිසිය කියයි.

ඇය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවයේ නිරත සුළු සේවකයකුගේ බිරියක් බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මෙදින සවස ඉන්ද්‍රකුමාර මහතාගේ බිරිය දියණිවරු සමඟ දේවස්ථානයේ පූජාවට සහභාගි වීමට ගොස් ඇති බවත් ඔවුන් නිවෙසින් පිටතට ගොස් විනාඩි 15ක් 20ක් අතර කාලයක් තුළ මේ හැම දෙයක්ම සිදුව ඇති බවත් පොලිසිය කියයි.

මෙහෙකාරිය විසින් පොලිසියට පවසා ඇත්තේ ඉන්ද්‍රකුමාර මහතා දුම්වැටියක් මිල දී ගැනීමට වෙළෙඳසලකට ගොස් නැවත පැමිණෙන විට මුහුණ වසාගෙන තාප්පයෙන් පැන ආ පුද්ගලයකු විසින් මෙම අපරාධය සිදු කළ බවය. ඉන්ද්‍රකුමාර මහතාට පිහි ඇනුම සිදු වී ඇත්තේ උදරය ප්‍රදේශයටය.

ඉන්ද්‍රකුමාර මහතා ඒ කියන වේලාව තුළ දුම්වැටියක් ලබාගත් වෙළෙඳසල තාමත් පොලිසියට සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. වෙළෙඳසල් කිහිපයකින්ම මේ ගැන සොයා බැලුවත් ඔහු දුම්වැටි තබා වෙනත් භාණ්ඩයක්වත් මිල දී ගැනීමට එම වෙළෙඳසල්වලට පැමිණෙන්නේ නැති බව ද අනාවරණය වී ඇත. තවත් වෙළෙඳසල් කිහිපයක් පරීක්ෂා කිරීමට ඇති බව ද පොලිසිය කියයි.

ඉන්ද්‍රකුමාර මහතා පදිංචිව සිටින නිවෙස වටා උස තාප්පයක් ඇති බවත් ඔහුට පිහියෙන් ඇන්න සැකකරු පැන්නේ යැයි කියන ස්ථානයේ තාප්පය ද තරමක් උස බවත් පහසුවෙන් පුද්ගලයකුට පැනීමට නොහැකි බවත් පොලිසියට පෙනී ගොස් ඇත. ඒ තැන පෙන්වනු ලබන්නේ නිවෙසේ මෙහෙකාරිය විසිනි.

මෙම නිවෙස වටා ආරක්ෂක කැමරා සවිකර ඇතත් ඒවා ඇත්තේ අක්‍රියව බව පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබේ. පොලිස් නිල සුනඛයන්ද යොදා ඇතත් සාර්ථක තොරතුරු කිසිවක් ලැබී නැත. එහෙත් අවට මාර්ග ආවරණය වන ලෙස වෙනත් නිවාස හා ව්‍යාපාරික ස්ථානවල ඇති ආරක්ෂක කැමරා පොලිසිය පරීක්ෂා කර තිබේ. එහිදී ද මෙම පිහි ඇනුම සිදුවූ කාලවේලාව තුළ මාර්ගයේ සැකකටයුතු පුද්ගලයන් හෝ වාහනයක් ගමන් කරන ආකාරයක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. තවදුරටත් ආරක්ෂක කැමරා පරීක්ෂා කරන බව පොලිසිය කියයි.

මෙම අපරාධය සිදු වූ ආකාරය ගැන හරියටම තොරතුරු දන්නේ මිය ගිය ඉන්ද්‍රකුමාර මහතා සහ නිවෙසේ මෙහෙකාරිය බව පොලිසිය කියයි. ඉන්ද්‍රකුමාර මහතා මිය යන්නේ බොහෝ තොරතුරු හිතේ තබාගෙන බවත් මෙහෙකාරිය පවා හරිහැටි තොරතුරක් ලබා නොදෙන බව ප්‍රශ්න කිරීමේදී පෙනී ගිය බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙහෙකාරිය පොලිසියට පවසා ඇත්තේ පිහියක් ද අතින් ගෙන තාප්පයෙන් ගෙවත්තට ඇතුළු වූ පුද්ගලයා තමාව නිවෙසේ ඉහළ මහලයේ ගැටගැසූ බවය. ඉන්ද්‍රකුමාර මහතා සමඟ අදාළ පුද්ගලයා උස් හඬින් කථාකරන බවක් ද තමාට ඇසුණු බවත් ටික වේලාවකට පසු ඔහු වේදනාවෙන් කෑගසන හඬ ඇසුණු බවත් ඇය පොලිසියට පවසා ඇත. ගැටගසා තිබුණු බැමි ලිහාගෙන පහළට ගොස් බැලීමේදී ඉන්ද්‍රකුමාර මහතා පිහිඇනුමට ලක්ව තුවාල වී සිටි බව දුටු බවත් තමා එම තුවාලයට අයිස් කැට තබා ප්‍රථමාධාර දී ලේ පිරිසුදු කළ බව ද මෙහෙකාරිය පොලිසියට පවසා ඇත.

ඉන්ද්‍රකුමාර මහතා රෝහලට යෑම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත් මෙම සිදුවීම සිය බිරියට හෝ දරුවන්ට නොකියන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත් මෙහෙකාරිය පොලිසියට පවසා ඇත.

ඉන්ද්‍රකුමාර මහතාට පිහියෙන් ඇන්න පුද්ගලයා ඔහුගේ කරේ තිබුණු රන් මාලය කොල්ලකාගෙන ගොස් ඇති බවද සඳහන් වුවත් වෙනත් දේපොළක් කොල්ලකෑමක් හෝ සොරා ගැනීමක් ගැන තොරතුරු විමර්ශනයේදී පැහැදිලිවම අනාවරණය නොවන බව ද පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය කියයි.

මෙම ඝාතනය මේ නිවෙසේ කලකට පෙර තීන්ත අලේප කළ පුද්ගලයකු විසින් කර ඇති බවට ඉන්ද්‍රකුමාර මහතාගේ පවුලේ උදවිය සැකයක් ද මතුකර ඇත. ඒ තීන්ත ආලේප කිරීම සම්බන්ධයෙන් ඔහුට මුදලක් දීමට තිබුණු බැවින් ඒ සම්බන්ධයෙන් යම් ආරවුලක් දෙදෙනා අතර පැවති බැවිනි. ඒ සම්බන්ධයෙන් මාකෙවිට සියඹලාපිටියේ පදිංචි එම පුද්ගලයාව ද පොලිසියට ගෙන්වා ප්‍රශ්න කර ඇත. එහිදී එම පුද්ගලයා පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ මාස කිහිපයකට පෙර එම ගැටලුව නිරාකරණය වූ බවත් ඉන්ද්‍රකුමාර මහතා සමඟ තමාට ඊට පසුව ආරවුලක් නොතිබුණු බවත්ය. ඉන්ද්‍ර කුමාර මහතාට එරෙහිව තමා ගම්පහ පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බවත් එය විභාගයට ගත් විට තමාට ලැබිය යුතු රුපියල් 20,000ක මුදල ඉන්ද්‍රකුමාර මහතා විසින් තමාට දුන් බවත් එහිදී ඔහු පොලිසියට පවසා ඇත. ඒ ගැන මිනුවන්ගොඩ පොලිසිය කළ සොයා බැලීමේදී තහවුරු වී ඇත. ඉන්ද්‍රකුමාර මහතා පිහි ඇනුමට ලක්වන විට මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ නොසිටි බව ද විමර්ශනවලින් තහවුරු වී තිබේ.

එදා බිරිය සහ දියණියන් දේවස්ථානයට ගොස් නිවෙසට පැමි‍ණෙන විට ඉන්ද්‍රකුමාර මහතා කිසිවක් නොවූ ගානට රූපවාහිනිය නරඹමින් ද සිට ඇති බව පොලිසිය කියයි. බොහෝ වේලාවකට පසු පිහි ඇනුම ගැන බිරියට පවසා ඇත්තේ ද මෙහෙකාරිය විසින් බව ද පවුලේ සාමාජිකයන් පවසන බව පොලිසිය කියයි. ඉන්ද්‍රකුමාර මහතා රෝහලට රැගෙන ගොස් ඇත්තේ ඉන් අනතුරුවය.

මෙම පිහි ඇනුම නූල් බෝලයක් මෙන් පැටලුණු සැකකටයුතු සිදුවීම් රැසක් ඇති විමර්ශනයක් බවට මේ වන විට පත්ව තිබෙන බව පොලිසිය කියයි. එම සැකයන් එකින් එක විසඳමින් මෙම අපරාධයට වගකිවයුත්තන් හඳුනා ගැනීමට අවශ්‍ය විමර්ශන මේ වන විට සිදුවෙමින් පවතින බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT