Home » හෝමාගම නීතිඥවරියකට කැත වචනයෙන් බැණ පහර දුන් ගුරුවරයා රිමාන්ඩ්

හෝමාගම නීතිඥවරියකට කැත වචනයෙන් බැණ පහර දුන් ගුරුවරයා රිමාන්ඩ්

by mahesh
August 9, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි, කොට්ටාව - ප්‍රදීප් කුමාර

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සති පොළ අසල නීතිඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට එම කාර්යාලය තුළදී අසභ්‍ය වචනයෙන් බැණ පහර දීමක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් රජයේ පාසලක ගුරුවරයකු ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මීගොඩ ආටිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අජිත් අමරසේකර නමැති රජයේ පාසලක ගුරුවරයෙකි.

අදාළ සැකකරු පහර කෑමට ලක් වූ නීතිඥවරියගෙන් නඩුවක් සම්බන්ධයෙන් සේවාවක් ලබාගෙන එම සේවාව නිසි ලෙස සිදු නොවූ බවට පවසමින් යළි මුදල් ඉල්ලා ඇති බවත් එම මුදල් යළි ලබා දීම නීතිඥවරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් සැකකරු විසින් අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කර නීතිඥවරියට පහර දී ඇතැයි ලද පැමිණිල්ලෙහි සඳහන් බව මෙහිදී පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

එසේම මෙම පැමිණිල්ල ලද පළමු අවස්ථාවේදීම දෙපාර්ශ්වයම ගෙන්වා සමථයකට පත් කළ බවත් පසුව සිදු කළ සාක්ෂි විමර්ශනයේදී සැකකරු වරදකරුවකු ලෙස හැඟී ගිය බැවින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ද සැකකාර ගුරුවරයා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගිය බවත් මෙහිදී පොලිසිය මඟින් අධිකරණය වෙත කරුණු දැක්විය.

පසුව යළි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව ද පොලිසිය පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා සමඟින් නීතිඥවරුන් තිස්දෙනකු පමණ පෙනීසිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT