දැන්වීම් නිර්මාණය කරන ආයතනයක චිත්‍ර ශිල්පියෙක් සඳහා ඇබෑර්තුවක් තිබුණි. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණි තරුණයකු ‘ඉන්ටර්ව් බෝඩ් එකේ’ සිටි ආයතනයේ හිමිකරු වූ අර්වින් වීරක්කොඩි වෙත, අමෙරිකානු ඩොලර් එකේ කොළයක් පිරිනැමුවේය. ‘ඩොලර් එකේ කොළයේ දෙපැත්ත’ පිරික්සා බැලූ අර්වින් “මොකද මේ ඩොලර් කොළයක් දික් කළේ…?” යැයි තරුණයාගෙන් අසා සිටියේය. “සර් ඕක මම ඇඳපු එකක්…” ඒ පිළිතුර සමඟ සම්මුඛ පරීක්ෂණය නිමා විය. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය ‘පණ පිහිටුවා චිත්‍ර’ ඇඳීමේ ප්‍රමුඛයෙකු වන පුලස්ති එදිරිවීර, ක්ෂේත්‍රයට පිවිසුණේ එසේය. ඔහු මේ වන විට මුද්දර දෙසිය පනහකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ.
අතින් අඳින වැඩ එහෙම වුණාට පොතක් හෝ ආර්ට් වර්ක් එකක් මුද්‍රණය කර ගැනීම සඳහා තවමත් මේ රටේ ඇත්තේ ආයතන කිහිපයක් පමණි. එක්කෝ කලර් අවුට්ය. මේ ආකාරයේ මුද්‍රණ කටයුත්තක් සඳහා ‘තිතට වැඩේ දෙන ආයතන’ අඩු වුණාට, හොරට යමක් ප්‍රින්ට් කර ගැනීම සඳහා එලෙසම වැඩේ කර දෙන ආයතන නම් රට වටේ තිබේ.
ගාල්ල සිට කඩවත දක්වා අධිවේගයේ පැමිණෙන බස් රථයේ කොන්දොස්තරලා නැත. නඟින තැනින් ටිකට් කඩා දෙන අතර, ‘මැදින් බැස්සවීම්’ නැති නිසා ගමනාන්තය තෙක් බසයේ සිටින්නේ රියැදුරු පමණි. මේ ක්‍රමවේදය හේතුවෙන් ලංගමයේ දෛනික ආදායම රුපියල් ලක්ෂ පහකින් පමණ වැඩි විය. බස් එක ඇතුළේ කොන්දොස්තර සිටින කාලයේ සිදු වූයේ හොරට ටිකට් කැඩීමය. ඒ කියන්නේ මගියා සල්ලි දෙන්නේ නමුදු ටිකට් දීමක් නැත. එක්කෝ කිහිප දෙනෙකුට ටිකට් දෙති. එහෙමත් නැත්නම් පිටකොටුවේ කඩවල දෙන ‘ඔන් ඇප්රුවල්’ බිල් වැනි වෙනම ටිකට් වර්ගයක් ද මේ ‘කොන්දලා’ සතුව තිබේ. මගියෙක් ‘බර බරයක්’ දැමුවොත් ඒ පොතෙන් ටිකට් එකක් ලැබෙන්නේය. ලංගමය ලබාදෙන ටිකට් එක මොන ජාතියේ දැයි මගියෝ දන්නේ නැත. කොන්දා දෙන එකක් භාරගෙන ගමන යනවා විනා ‘ටික්කාගේ’ වැඩේ කරන්න අප යන්නේ නැත. ඒ වාසිය අතට ගත් වන, ලංගමය ලිඳ කපන්නේය. ඩ්‍රයිවර් වතුර අදින්නේය. කොන්දා නා ගන්නේය. සී.ටි.බී. එක වළ පල්ලට යන්නේය.
ප්‍රින්ටින් වැඩක කොලිටි ඩ්‍රොප් වුණාට මේ ටිකට් නම් අර ඒවා වගේමය. හරියට පුලස්ති ඇන්ද ඩොලර් කොළය වගේමය.
‘මාටිං – ටින් ටින්’ වැඩේ නතර කිරීම සඳහා ගමන ආරම්භයේදී ටිකට් කැඩීමේ කලාව ලංගමයට හඳුන්වා දෙනු ලැබුවේ, අධිවේගී මාර්ග සඳහාය. ලාභය වැඩි වූ මුත්, හොරකම කරණමක් ගසා අලුත් වටයකින් බසයට ගොඩවිය. ඇඹිලිපිටියේ සිට මාකුඹුර දක්වා ‘හයිවේ එකේ’ දුවන බස් රථයක් ක්ෂණික පරීක්ෂාවකට ලක්කළ විට ගමන් ආරම්භයේදී නිකුත් කළ ටිකට්පත් 24න් 17ක්ම ‘හොර බඩුය’. ටිකට් එකක ගාණ රුපියල් 1,035කි. ඒ ටර්න් එකෙන් පමණක් රුපියල් 17,595ක් ‘මාටියා’ ගසා තිබුණි. ගිය ඉරිදා ගාල්ලේ සිට කඩවත දක්වා පැමිණි බස් රථයක්, යළි හයිවේ එකේ ගාල්ල දක්වා යෑමට සැරසුණේය. දැන් ටිකට් කඩන්නේ බස් එකට නඟින්නට පෙරය. ස්ටාර්ට් කර යෑමට සැරසුණු බස් රථයේ මගීහු සියලු දෙනා අත ටිකට් තිබුණි. ඒ නිසා ගැටලුවක් ද නැත. ඒත් චෙක් කර බැලූ කල්හි සියල්ල ‘හොර බඩුය’.
කඩවත සහ ගාල්ල අතර එක් ගමන් වාරයක් සඳහා අයකුට ගාස්තුව රුපියල් 950කි. බස් එකේ සිටි මගීන් සංඛ්‍යාව පනස් එකකි. වැඩේ කියන්නේ වෙන තැන්වල කරන්නේ, හොඳ ඒවා දහයකට හොර ඒවා එකක් දැමීමය. මිරිස් කුඩුවලට පාන් පිටි ටිකක් දමනවා මිස, පාන් පිටි, මිරිස් කුඩු කියා විකුණන රටක් නැත. මේ යක්කු ගම්මිරිස් සඳහා ගස් ලබු ඇට දැම්මේ නම් ලේබලය පමණක් ගම්මිරිස්ය. පැකට් එක එහෙම පිටින්ම ගස්ලබු ඇටය. කුඩ්ඩො පවා බඩු සඳහා කළවමක් දාන්නාහ. එහෙම වුණාට වැඩි ප්‍රමාණයක් හෙරොයින්ය. මේ බස් එකේ පනස් එකම හොර ට්කට්ය. එහෙම ටිකට් කඩපු ‘ලංගමයේ අලුත්ම කොටස් හිමියෝ’ දෙදෙනා මුලින්ම කඩවත පොලිසියේ කූරු ගැන, දැන් සීඅයිඩියේ, බූරු ඇඳක පැද්දෙනවා ඇත.
ඒ ටර්න් එකෙන් පමණක් රුපියල් 48,450ක ගාණක් මේ ගැන්සිය කපාගෙන තිබේ.
ටිකට් නොදී ගාණ සාක්කුවේ දමාගැනීම නිසා දවසට කොන්දොස්තරලා තිස් පහකගේ වැඩ තහනම් වෙන්නේ ද මේ ලංගමයේය. එදා සීටීබී කියන අකුරු තුනට කොල්ලෝ දුන් නිරුක්තිය වූයේ ‘සිලෝන් ටකරන් බස්’ කියාය. දැන් ඒ සඳහා ‘සිලෝන් තීෆ්ස් බස්’ කියා යෙදිය හැකිය. ඒ තරමට ලංගමයේ ඉන්නේ හොර හැත්තකි.
වෙන තැන්වල උඩ ඉඳන් පහළටම හොරුය. ලංගමයේ උඩ හොඳය. පහළ සියල්ලෝම වාගේ හොරුය. ඒ කාලයේ මහරගම ඩිපෝවේ පිටිපස්සේ තාප්පයෙන් එහා පැත්තේ කැලෑවක් තිබුණි. වැඩ නිමවා ලඳු කැලය පැත්තට යන ලංගම සේවකයෝ, දෙතුන් දෙනෙක් එක්වී, තාප්පයේ සිට දමා ඇති කඹයක්, මහත් වැර දමා අදින්නේය.
බලන එකාට පේන්නේ “අනේ මේ මිනිස්සු ලංගමය ගොඩ ගන්න දරන මහන්සිය…” කියාය. කඹේ අනික් කොනේ, බස් ඇන්ජිමකි. ඒ ඇන්ජිම රෑ අට පමණ වන විට බෝතල් කඩයේය. ඇතුළේ සහ පිට සිට මහන්සි වූ පිරිස, ළඟ පොට් එකකින් දෙකක් දමාගෙන ගෙදරය. ලංගමය සදාකල්ම පාඩුය. ඇන්ජිම තාප්පයෙන් පැන්නීම සඳහා නායකත්වය දුන් එකා මැයි දිනය දා සිය සටන් සගයන් සමඟ ‘කඹය ඇදීමටත් වඩා වෙර ගෙන’ කෑ ගසමින් ගියේ “ලංගමයත් විකුණනවෝ” කියා පපුවට ගසා ගනිමිනි.
ටිකට් හොරට දෙන, එකා දෙන්නා ඇතුළු ‘පහළ ශ්‍රේණියේ හොර නඩය’ පාරේ යන්නේ ද ඒ ආකාරයටය. “දෙසිය විසිපහම හොර හැත්ත… ඕකුන් එක්ක කොහොම මේ රට ගොඩ දාන්නද…” කියා උදේට බස් එකේදී අහන්නේ, එහෙම එවුන්ය.