Wednesday, April 23, 2025
Home » උඩවලව වාරි පද්ධතිය භයානක තත්ත්වයක ඒකක 7ක වගාව පාළු වෙලා

උඩවලව වාරි පද්ධතිය භයානක තත්ත්වයක ඒකක 7ක වගාව පාළු වෙලා

by sachintha
August 7, 2023 5:27 am 0 comment

උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බවත් මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය යැයිද තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින මෙහෙයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම ඊයේ (6) කීවේය.
අක්කර අඩි දෙලක්ෂ දාහත්දහසකින් යුත් උඩවලව ජලාශයේ දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 2000ක් පමණක් බවත් මීට සති කිහිපයකට පෙර සමනලවැවෙන් ජල අක්කර අඩි 1500ක් දෛනිකව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කළත්, මේ පිළිබඳව විදුලිබල ඇමතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයත් ජනාධිපතිවරයාත් උනන්දු නොවීම තුළ ගොවි පවුල් 30000ක හෙක්ටයාර් 25000ක වී, උක්, එළවළු සහ බඩඉරිඟු වගාව විනාශයට පත්වීම ආරම්භ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය විසින් වාරි පද්ධතිය හරහා නිර්මාණය වූ වාරි සංස්කෘතිය සහමුලින්ම විනාශ කර ඇති බවත් වී, උක්, එළවළු සහ බඩඉරිඟු වගාවන් ආදිය හරහා දේශීය ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික චක්‍රයක් ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් නොමැති නිසා වගා හානි වුවහොත් වන්දි ලබා දී පිටරටින් හාල් ගෙන ඒමට සූදානම් වී ඇති බවත් ජනතාව විසින් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ වැඩක් නොකර හේතු දැක්වීමට නොවන හෙයින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දක්ෂ, සැලසුම්සහගත සහ කාර්යක්ෂම ආණ්ඩුවක් ලෙස පම්පෝරි ගැසුවත් මේ සිදුවීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය පෙනෙන බවත් රජයේ දෙබිඩි වැඩපිළිවෙළ හේතුවෙන් ගොවියාත් සාමාන්‍ය ජනතාවත් දැඩි ලෙස අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ය.
රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT