Tuesday, April 22, 2025
Home » දේශගුණික යුක්ති සංසදය ඇරඹීමට අපේ රට සූදානම් – ඇමැති නසීර් අහමඩ්

දේශගුණික යුක්ති සංසදය ඇරඹීමට අපේ රට සූදානම් – ඇමැති නසීර් අහමඩ්

by sachintha
August 7, 2023 7:42 am 0 comment

 

ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේදී අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ආරම්භ කිරීමට අපේ රට සූදානමින් සිටින බව පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ තේමාවෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ප්ලාස්ටික් මල් මාලා, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි උපකරණ කිහිපයක් ඉදිරි සති දෙකේදී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මීට අමතරව ආසියා පැසිෆික් කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට වේදිකාවක් සැපයෙන ආසියා පැසිෆික් කලාපයේ ඇමැතිවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ පස්වන සංසදය 2023 ඔක්තෝබර් මස 03 වෙනිදා සිට 06 වෙනිදා දක්වා කොළඹදී පැවැත්වෙනවා. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව පරිසර අමාත්‍යාංශය විසින් එය සංවිධාන කරනවා.

දේශගුණික යුක්තිය සහතික කිරීම සහ හානි සඳහා මුල්‍යකරණය කඩිනම් කිරීමට විකල්ප මෙන්ම සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් දීමේ පොදු අරමුණ ඇතිව දේශගුණික යුක්ති සංසදය පිහිටුවීමට අපේ රට යෝජනා කර තිබෙනවා. දේශගුණික අවදානමකට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී ඇති ණය අර්බුද සැලකිල්ලට ගනිමින් සමස්ත විසඳුම් යෝජනාවලියේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ණය යුක්තිය ද ඇතුළත් කිරීම සුදුසු බව අපේ අදහසයි. එම උත්සාහය සාර්ථක කර ගැනීමට දේශගුණික යුක්ති සංසදය පිහිටුවීමේ යෝජකයා ලෙස පරිසර අමාත්‍යාංශය ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

දඹුල්ල සහ හිරිවඩුන්න ප්‍රදේශ පරිසර හිතකාමී සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී තිබෙනවා. රටේ වායු ආපදා තත්ත්වය වාර්තා කිරීමට හදිසි ප්‍රතිචාරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ පාර්ශ්වකාර ආයතනවල දායකත්වයෙන් දැනටමත් සකස් කර අවසන්. විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ද පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වා දීමට නියමිතයි. ඛනිජ ප්‍රවාහනය විධිමත් කිරීමට ගමනාන්තය, වාහන අංකය සහ මාර්ග විස්තර ඇතුළත් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

අදාළ සියලු තොරතුරු පරිගණකගත කර තිබෙන බැවින් බලපත්‍රලාභීන්ට කිසිදු වෙනස් කිරීමක් සිදු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. නීති විරෝධී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිත කරන වාහන මේ දත්ත පද්ධතිය හරහා අසාදු ලේඛනගත කිරීමේ ක්‍රියාපටිපාටියක් ද අමාත්‍යාංශය විසින් හඳුන්වාදී තිබෙනවා. පතල් හා ඛනිජ පනත යටතේ ඇති රෙගුලාසි සංශෝධනය කර, ඛනිජ ගවේෂණ බලපත්‍ර පටිපාටිය සඳහා ද නව විධිවිධාන හඳුන්වාදී තිබෙනවා. මේ යටතේ තැරැව්කරුවන්ගේ මැදිහත්වීමකින් තොරව සෘජුවම මෙරට ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ ආයෝජන කිරීමට ආයෝජකයන්ට පහසුකම් සැලසීමට නව ප්‍රතිපාදන හඳුන්වාදී තිබෙනවා. ජාතික දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම, ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සැකසීම, ශ්‍රී ලංකාව සඳහා ජාතික සිසිලන ප්‍රතිපත්තියක් සැකසීම, 2025 වන විට ශුන්‍ය කාබන් සඳහා ශ්‍රී ලංකා මාර්ග සිතියම සැකසීම, පරිසර හිතකාමී ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීම මේ වසරේ අමාත්‍යාංශය විසින් සිදු කරන ප්‍රධාන ක්‍රියාකාරකම් වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT