දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී පැවැත්වෙන ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරේදා සමත් වූහ.
තරගාවලියේ දෙවැනි වටය යටතේ ‘ඊ’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ අවසන් තරගයේදී බාබඩෝස් පිලට එරෙහිව ලකුණු 60-56ක් ලෙස තියුණු ජයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා පිල ලෝක ශ්‍රේණිගත කිරීම්හි 15 වැනි ස්ථානයේ පසුවන අතර, බාබඩෝස් පිල 14 වැනි තැන රැඳී සිටින කණ්ඩායමයි.
තරගය ආරම්භයේ සිටම සටන්කාමී ක්‍රීඩාවක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු කාර්තුව නිමා කළේ ලකුණු 15-15ක් ලෙස බාබඩෝස් පිල සමඟ සම වෙමිනි.
දෙවැනි කාර්තුවේදීත් ලකුණු 15ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල පෙරමුණට පිවිසි අතර, එවර බාබඩෝස් ලකුණු සංඛ්‍යාව 11ක් විය.
කෙසේ වෙතත් තෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා පිල අබිබවා ගිය බාබඩෝස් පිල ලකුණු 22-13ක් ලෙස පෙරමුණට පිවිසි අතර, අවසන් කාර්තුවේදී යළිත් ආධිපත්‍ය පැතිරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූයේ ලකුණු 17ක් රැස් කරමිනි. එවර බාබඩෝස් පිලට එක් කර ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඒ අනුව ලකුණු 60-56ක් ලෙස ශ්‍රී ලංකා ජය තහවුරු විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල මේ තරගය ජය ගත්ත ද ‘ඊ‘ කාණ්ඩ යටතේ සහභාගිවූ මුල් තරග දෙක පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි (අවසන්) ස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.
ඒ අනුව ශ්‍රී ලංකා පිලට මෙවර තරගාවලියේ 15-16 ස්ථාන වෙනුවෙන් එම කාණ්ඩයේ තෙවැනි තැන පසුවන සිංගප්පූරුව සමඟින් තරග වැදීමට සිදුව ඇති අතර, එම තරගය අද (4) පැවැත්වේ.
අවසන් වරට 2019 වසරේ පැවති තරගාවලියේදීත් සිංගප්පූරුව සමඟින් 15 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදුණු අතර, එහිදී ලකුණු 78-57ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.