Home » කඩුවෙලින් හමු වූ නිරුවත් සිරුර පාතාල සාමාජික කොට චාමරගේ

කඩුවෙලින් හමු වූ නිරුවත් සිරුර පාතාල සාමාජික කොට චාමරගේ

by mahesh
August 4, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, හල්තොට සමූහ- විනීතා මානෙල් ගමගේ, නවගමුව- සුගත් ප්‍රේමතිලක, බණ්ඩාරගම- බිමල් ජයසිංහ, නුගේගොඩ සමූහ- සමීර අබේසිංහ මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

– කණුවක බැඳ දවසක් තිස්සේ පහර දීලා
– පාතාලයේ දිනේෂ් හා ත්‍රිරෝද රියැදුරෙක් අත්අඩංගුවට

කඩුවෙල වැලිවිට 08 කණුව වේල්ල අසල තිබී පෙරේදා (02) හමුවූ නිරුවත් මළ සිරුර පාතාල සාමාජිකයකු වන කොට චාමර නමැත්තාගේ බව හෙළිකර ගත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය එම ඝාතනයට සම්බන්ධ පාතාල අපරාධකරුවකු ඇතුළු සිවු දෙනකු ඊයේ (03) උදෑසන විට අත්අඩංගුවට ගෙන තිබේ. ගොතටුව නින්දහේනේ පදිංචිකරුවකු වන ඝාතනය වූ කොට චාමර නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙගොඩ කොලොන්නාවේ පිහිටි නි‍ෙවසක සිරකර පොලුවලින් පහරදී ඝාතනය කර වැලිවිටට ගොස් මළ සිරුර නිරුවත් කර දමා ගොස් ඇත්තේ ඔහුගේ සමීපතමයකුගේ මෙහෙයවීමෙන් බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

එසේ ඔහු මරා දැමීමට මුල්වී ඇත්තේ දිනේෂ් නිරෝෂන් (37) නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකුය. කොට චාමර මරා දමා ඇත්තේද මෙගොඩ කොලොන්නාවේ පිහිටි ඔහුගේ නි‍ෙවසේදී බව බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දිනේෂ් නමැත්තාද, මළ සිරුර රැගෙන ගොස් වැලිවිට දමා යාමට යොදා ගත් ත්‍රිරෝද රථ රියැදුරු වන ප්‍රියදර්ශන නමැති අයකුද සිටින බව පොලිසිය කියයි. සෙසු සැකකරුවන් දෙදෙනා දිනේෂ් නමැත්තාගේ සමීපතමයන් දෙදෙනකු බවත් ඔවුන් අංගොඩ හා වැල්ලම්පිටියේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

මෙම කණ්ඩායම කලක් අංගොඩ ලොක්කා නමැති පාතාල අපරාධකරුගේ ගෝලයන් ලෙස කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මරුමුවට පත්වීමෙන් අනතුරුව අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන ජිලේ නමැත්තාගේ ගෝලයන් ලෙස ඝාතනය වූ පුද්ගලයාත් සැකකරුවනුත් කටයුතුකර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුව සිටි සුමුදු රුක්ෂාන් ඝාතනයේ සැකකරුවකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආයුධ පෙන්වීමට ගොස් කඩුවෙල ගල්වළකින් වැටී 2022 වසරේ අගෝස්තු 08 වැනිදා මරුමුවට පත්වන පාතාලයේ වෙඩික්කරුවකු වන තුවාන් ශිරාන්ද සිට ඇත්තේ කොට චාමර සහ දිනේෂ් සමඟ එක්වය.

එස්.ටී.එෆ්. නිලධාරීන්ට තුවාන් ශිරාන්ව පාවා දුන්නේ දිනේෂ් බවට චෝදනාවක් චාමර විසින් එල්ල කරනු ලැබ ඇති බවත් ඒ බව කියමින් ඔහු ශිරාන්ගේ බිරියට සමීප වී ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. මේ කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වූ දිනේෂ් බන්ධනාගාරගතව ඇති බවත් එහිදී දිනේෂ්ගේ

බිරියට ද කොට චාමර කිට්ටුවන්නට උත්සාහ ගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. බන්ධනාගාරයෙන් මෙයට මාස දෙකකට පමණ පෙර ඇප ලබා නිදහස් වූ දිනේෂ් මේ හැම දෙයක්ම දැනගෙන කොට චාමරගෙන් පළිගැනීමට තීරණයකර ඔහුට පාඩමක් ඉගැන්වීමට සැලසුමක් සකස්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ඔහු සිය හිතවතකු වූ ත්‍රිරෝද රථ රියැදුරකුද ඒ සඳහා සම්බන්ධකරගෙන පසුගිය පොහෝය දින කොලොන්නාවේ යම් ස්ථානයකට චාමරව ගෙන්වා ගෙන තිබේ. චාමර පැමිණ ඇත්තේ මිතුරන් පිරිසක් සමඟ පැවති සාදයක් අතරතුරදී බව ද සඳහන්ය.

කොට චාමර ත්‍රිරෝද රථයක නැඟී කොලොන්නාවේ යම් ස්ථානයකට පැමිණ ඇති බවත් දිනේෂ් එම ස්ථානයට ගොස් ඇත්තේ සිය හිතවතාගේ ත්‍රිරෝද රථයේ නැඟී බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. කොට චාමරව අදාළ ස්ථානයෙන් ඔවුන්ගේ ත්‍රිරෝද රථයට ගොඩකරගෙන මෙගොඩ කොලොන්නාවේ පිහිටි නි‍ෙවසට රැගෙන ගොස් ඇති බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කළේය. එහිදී ඔහුව නි‍ෙවසේ කාමරයක ගැටගසා රෑ එළිවෙන තුරු පහරදී ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බවත් සඳහන්ය. ඔහුට පහරදී ඇත්තේ ඇඳුම් ගලවා යට ඇඳුම පිටින් තබා බව ද පොලිසිය කියයි.

කොට චාමර මිය යාමෙන් පසු දිනේෂ් නැමැත්තා විසින් සිය මිතුරු ත්‍රිරෝද රථ රියැදුරුව ගෙන්වාගෙන මළ සිරුර ත්‍රිරෝද රථයේ දමාගෙන පෙරේදා (02) උදෑසන රැගෙන ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ දෙපැත්ත වසාගෙනය.

වැලිවිට ප්‍රදේශයට මළ සිරුර රැගෙන ගොස් පාළු ස්ථානයකදී සිරුර අතහැර දමා යන්නේ සිරුරේ යට ඇඳුමද ගලවා මුළුමනින්ම නිරුවත්කර බව පොලිසිය කියයි.

අනතුරුව ඔහුගේ ඇඳුම් අතර මග තැන තැන විසිකර දමා ඇති බව ද අනාවරණය වී තිබේ. ත්‍රිරෝද රථය මෙන්ම නි‍ෙවසේ කාමරයද සෝදා ලේ පැල්ලම් මකා දමා ඇති බව ද පොලිසිය කියයි. ඊයේ (03) පෙරවරුවේදී නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කොලොන්නාව මෙගොඩ කොලොන්නාවේ පිහිටි නි‍ෙවසට ගොස් සියුම් පරීක්ෂාවක්ද කර සේදී නොගොස් තිබුනු ලේ සාම්පල් කිහිපයක් ද ලබාගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.පොලිසිය පවසනුගේ මළ සිරුර රැගෙන යාමට යොදාගත් ත්‍රිරෝද රථයද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එයද සියුම් පරීක්ෂාවකට ලක්කර විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා අවශ්‍ය ජෛව සාම්පල් කිහිපයක් සොයාගෙන ඇත.කොට චාමරට පහරදීමට යොදාගත් පොල්ලක් සහ වයරයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබුණි. විමර්ශන කටයුතු සඳහා මළ සිරුර තිබුණු ස්ථානයට ආසන්න ප්‍රදේශයක දමාගොස් තිබුණු ජංගම දුරකතන දෙකක් ඉවහල්වී ඇති බව ද පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

—————————————————————————————————————————–

සැකකාර පාතාලයන් දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කොට චාමර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා ඊයේ (03) සවස කඩුවෙල මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක කාලයක් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අවසර ලබා දුන්නාය. අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුවෙල පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අවසරය ලැබුණි. මෙලෙස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද්දේ වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව පදිංචිකරුවකු වන මුණවීර කංකානම්ගේ දිනේෂ් ඉරෝෂණ තරින්ද, වැල්ලම්පිටිය කිත්තම්පහුව ලන්සියාවත්ත පදිංචිකරුවකු වන කුලසේකර මුදියන්සේලාගේ සුසන්ත ප්‍රියදර්ශන කුමාර, ත්‍රිරෝද රථ රියැදුරකු වූ අංගොඩ කැලණිමුල්ල පදිංචිකරුවකු වන විජේසූරිය ආරච්චිලාගෙ තුසිත සම්පත් යන සැකකරුවන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT