දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරාධිකාරී, සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායක, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විශේෂ කර්මවාගාචාර්ය, විචිත්‍රභාණී, දාහිගමුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පැවිදි දිවියට 54 වසරක් පිරීම හා ජන්ම දිනය සමරනු වස් හෙට (5) පස්වරු 2:00ට මීරිගම පුරාණ විහාරයේදී පවත්වන Òයතිවර පාද පංකජ වන්දනාÓ උපහාර අභිනන්දන මහෝත්සවය නිමිත්තෙනි.
දාහිගමුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ වර්තමානයේ ඓතිහාසික දඹදෙණි රාජධානි භූමියට යාබද දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරයේ විහාරාධිකාරී හිමියන් ලෙස වැඩ වාසය කරන අතර, සමස්ත ලංකා සසුන්මඟ භික්ෂු සංවිධානයේ ප්‍රධාන සංවිධායක හිමියන් ලෙස සමාජයට, සසුනට මහත් සේවාවක් ඉටුකරයි.
දාහිගමුවේ ශ්‍රී සුමංගල හිමි නාමය කියන විටදී උන්වහන්සේ නොදන්නා යම් අයකු ගෙවී ගිය කාලයේ සිටියේ නැත. ඊට හේතුව ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරය කෙරෙන බොහෝ පිරිත් සජ්ඣායනාවල දන්නා කාලයක සිට මුලසුන හොබවමින් කටයුතු කර ඇති උන්වහන්සේ විශේෂයෙන් රටේම සුප්‍රසිද්ධ දඹදෙණියේ සමස්ත ලංකා සසුන්මඟ භික්ෂු සංවිධානය මෙහෙයවමින් අගනුවර ඇතුළු ශ්‍රී ලංකාවේ ගම් නියම්ගම් සිසාරා පිරිත් සජ්ඣායනාවේ යෙදුණු හිමි නමකි. උන්වහන්සේ එතැනින් නොනැවතී රට රාජ්‍යවල පවා වස් වසමින් හා පිරිත් සජ්ඣායනාවන්ට සම්බන්ධ වෙමින් මහත් වූ කීර්තියක් ගොඩනඟා ගත් හිමිනමකි. එම කීර්තිය නිසාම විචිත්‍රභාණී, සරභඤ්ඤ විශාරද, පිරිත් දේශකයාණන් වහන්සේ නමක් ලෙස දාහිගමුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගෞරව බහුමානයට පාත්‍රවී ඇත.
1955 අගෝස්තු මස 05 වැනිදා කුරුණෑගල දාහිගමුව නම් ගැමි පරිසරයේදී ආර්. ඇම්. රන්මැණිකේ මාතාවට හා ඩී. එම්. දිසානායක පියාණන්ට දාව උපන් අප කථානායක හිමියෝ ළමා කාලයේදී මූලික අධ්‍යාපනය ලබන්නේ ඒදණ්ඩාවල විද්‍යාලයෙනි. එහි 7 ශ්‍රේණිය දක්වා අකුරු කරන මේ කුල කුමරුන්, මහණ දම් පිරීම සඳහා තීන්දුවක් ගනු ලබන්නේය. ඒ අනුව කුරුණෑගල සහ දඹදෙණිය විහාරස්ථානවල කලක් ගත කර, 1974 දී පැවිදි දිවියට එළඹෙයි.
අනතුරුව ගම්පහ මාබිම විද්‍යාදීප මහ පිරිවෙනෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන උන්වහන්සේ 1980 දී නැවත දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරයට වැඩම කර එකල්හිදී උපසම්පදාව ලබන්නේය. දඹදෙණියේ ගල්ගමුව හා දීකිරිකෑව පුරාණ විහාරවල වසර 20කට වැඩි කාලයක් වැඩවසන ශ්‍රී සුමංගල හිමියෝ මේ සෑම විහාරස්ථානයකදීම පිරිත් දේශනය මනාව ප්‍රගුණ කළහ.
අවසානයේ 1999 දී තමන්ට සුපුරුදු දඹදෙණිය රජ මහා විහාරයටම වැඩම කරන සුමංගල හිමියෝ එදා පටන් අද දක්වා වසර 20කට වැඩි කාලයක් එහි වැඩ වසමින් හා රට රාජ්‍යවල සැරිසරමින් ධර්ම ප්‍රචාරයට සිදු කරන්නේ අමිල මෙහෙවරකි. උන්වහන්සේ මේ වන විට රටවල් 15ක පමණ වැඩම කරමින් වස් වසමින් වස් පින්කම් සඳහා සම්බන්ධ වෙමින් විචිත්‍ර පරිත්‍රාණ ධර්ම දේශකයන් වහන්සේ කෙනකු ලෙස මහත් වූ කීර්තියක් ලබා ඇත.
වසර 54ක පැවිදි දිවියේ හා වසර 68ක දිවි ගමනේ උන්වහන්සේ කර ඇති වඩාත් වැදගත්ම ශාසනික කාර්ය වී ඇත්තේ ප්‍රකට අතීත දඹදෙණි පිරිත් කතිකාවතට සමස්ත ලංකා සසුන්මඟ භික්ෂු සංවිධානය හරහා නව ජීවයක් දෙමින් ඒ සඳහා ශිෂ්‍ය හිමිවරුන් පුරුදු පුහුණු කරමින් රට පුරා පිරිත් දේශනාවන්ට සහභාගි වීමය. තම ගුරු හිමියන් වූ සූවිසි පත්තුවේ ප්‍රධාන සංඝනායක මංගෙදර සිරිරතන හිමි ඇසුරේ ලබාගත් ශාසනික සේවාව හා ධර්ම ඥානය තම ශිෂ්‍ය හිමිවරුන්ට දෙමින් වර්තමානයේ ශ්‍රී සුමංගල නාහිමියෝ තමා විසින් ආරම්භ කරන ලද හා ප්‍රධාන සංවිධායක ධුරය දරන සමස්ත ලංකා සසුන් මඟ භික්ෂු සංවිධානය මඟින් වාර්ෂිකව ඓතිහාසික ස්ථානයක් තෝරාගෙන එහි තිස් පැය හතේ පිරිත් දේශනා මාලාවක් සිදු කරගෙන යයි. රජගෙදර මෙන්ම ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු රාජ්‍ය උත්සවයන්හි පවා පිරිත් දේශනා සමස්ත ලංකා සසුන්මඟ භික්ෂු සංවිධානයේ මෙහෙයවීමෙන් සිදු කරන අතර, මේ වන විට උන්වහන්සේ දොරකඩ අස්න අනුශාසනා 125කට වඩා කර ඇත.
සමාජ සද්කාර්යයක් ලෙස, පිටිසරබද නොදියුණු ගම්වල දිළිඳු ජනතාව තෝරාගෙන ඔවුන්ට ජීවනාධාර වැඩසටහනක් කරන අතර, සංගමයේ සිට අපවත් වූ හිමිවරුන් වෙත පින් අනුමෝදනා පින්කම් කරමින් කටයුතු කරනු ලබයි.
අස්ගිරි මහා විහාරය මඟින් ප්‍රදානය කරන ලද සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණී, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශය මඟින් පිරිනමන ලද Òශාසන කීර්ති ශ්‍රී මංජුස්සර සම්මාන පරිත්තාචරියÓ යන ගෞරව නාමයන්ගෙන් උන්වහන්සේ පිදුම් ලබා ඇත.
මේ මස 05 වැනිදාට යෙදෙන 68 වැනි ජන්ම සංවත්සරය හා වසර 54ක පැවිදි සංවත්සරය නිමිත්තෙන් පවත්වන Òයතිවර පාද පංකජ වන්දනාÓ උපහාර අභිනන්දන මහෝත්සවයට අපගේ සුභාශිංසන පිරිනමමු.
නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරාධිකාරී
සෙනෙහස ලංකා පදනමේ විධායක අධ්‍යක්ෂ
යටියන සිරිවිමල හිමි