Saturday, April 19, 2025
Home » හොර පාරේ ඉතාලි යන්න ගිය යුවලක් කටුනායකදී කොටුවෙයි

හොර පාරේ ඉතාලි යන්න ගිය යුවලක් කටුනායකදී කොටුවෙයි

by yasara
August 2, 2023 11:20 am 0 comment

Airport

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් ඊයේ (01) දින සවස කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

යාපනය ,චන්කනායි ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අතරින් තරුණයා 27 හැවිරිදිය හා තරුණිය 28 හැවිරිදිය .

මොවුන් ඊයේ සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පිටත්ව යන ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා , ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගෙන තිබේ .

එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට , ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන විගමන කාන්තා නිලධාරිනියක මෙම ස්ථානයට කැදවා , මෙම තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇයගේ යට ඇදුම තුළ , එම ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සගවා ගෙන තිබියදී සොයා ගෙන තිබුණි .

එසේ සොයා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළ ද ඒ වනවිටත් , ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙම ගුවන් යානය තුළ ඒ වනවිටත් අසුන් ගෙන සිට තිබේ .
මෙසේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම යුවළ , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

පසුගිය වකවානුව තුළ උතුරු ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ පිරිස විශාල වශයෙන් මේ ආකාරයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කූඨ ලේඛන භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමේ ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතින බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීවරයෙකු පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT