Wednesday, April 23, 2025
Home » සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග භාවිතය අත්හිටුවීමේ තීරණයක්

සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග භාවිතය අත්හිටුවීමේ තීරණයක්

by chanaka
July 31, 2023 2:53 pm 0 comment

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දෙනු ලැබීය.

මේ සම්බන්ධව සකස් කළ ලිපියක් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්ක කිහිපයක වගා කර ඇති ඇතැම් කුඹුරු ඉඩම්වල ගොයම් තවමත් පීදී නැති අතර ඇතැම් ප්‍රදේශවල ගොයම් කිරට නමන තත්ත්වයක් පවතී. එහෙත් පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොයම් පැසීමට තරම් අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටළුවට ගොවීහු මුහුණ පා සිටිති.

විශේෂයෙන් උඩවළවේ ජලාශය යටතේ පවතින කුඹුරු අක්කර 50,000කට අධික ප්‍රමාණයක් ජල හිඟය නිසා විනාශ වීමේ අවදානමක් මතු වී තිබේ. මෙම කුඹුරුවලට අඩු තරමින් තවත් වතුර මුර දෙකක්වත් ලබා දිය යුතුය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ගොයම් පීදෙන කුඹුරුවලට උග්‍ර ජල හිඟයක් පවතී. ඉදිරි දින කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් නොලැබුනහොත් යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න නොලැබීම නිසා ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතු විය හැකියැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ නිසා දැනට ඇති සහල් තොග ආරක්ෂා කර ගැනීම සඳහා සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්නෙන් සකසන ලද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ සත්ව ආහාර නිෂ්පාදන සහ බියර් නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. විශේෂයෙන් සත්ව ආහාර සඳහා අවශ්‍ය දේශීය බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනයට මුදල් නොමැතිවීම හේතුවෙන් කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටීම වළක්වා ගැනීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදා ගැනීමට තීරණය කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT