Monday, April 21, 2025
Home » බුල්ටෝ කන්නේ උන්ය-තල්ල හම යන්නේ රටේය

බුල්ටෝ කන්නේ උන්ය-තල්ල හම යන්නේ රටේය

by sachintha
July 31, 2023 6:00 am 0 comment

‘වෙන් වී ගියේ සිතකින් නොවේ’ යැයි ලියූ ප්‍රේමකීර්ති ද අල්විස් වෙන්ව ගිය දවස අද ය. පැහැරගෙන ගොස් රබර් වත්තක වෙඩි තබා මරා දැමීම සඳහා ඔහු කළ වරද කවරේද…? යම් දේශපාලන වරදක හෝ නිරත විණිද…? අපේ කාලයේ ජීවත්වූ අග්‍රගණ්‍ය පද රචකයෙක් වනවාට අමතර හේ විදග්ධ සන්නිවේදකයකු විය. ඒ නාමය වෙඩි තබා අමරණීය වූ බැවින් ඝාතකයා ‘එතැනම මළේය’. ඝාතකයාගේ දේශපාලනයට බරපතළ ලෙස තුවාල විය.

ප්‍රේමකීර්ති ඝාතනය යටපත් කෙරුමට සහ එය වටා තවත් කතා ගොතා, දේශපාලන ඝාතනයක් නොවන වගට පත් කර ගැනීමට සමහරෙක් තවමත් තැත් දරති. බරපතළ සමාජ අපුලක්, ප්‍රේමකීර්ති ඝාතකයා වෙත එල්ලවීම හේතුවෙන්, ඒ සඳහා නායකත්වය දුන් දේශපාලන කණ්ඩායම සලිත වීම ඊට හේතුවය. අතීතය වළා දමා, අලුත් කතාවක් ලිවිය හැකි තැනක තවම ඒ දේශපාලනය නැත. දැන් කළ යුත්තේ එක්කෝ ප්‍රසිද්ධියේ සමාව ගැනීමය. නැතහොත් ඇත්ත කියා තත්ත්වය පැහැදිලි කිරීමය. එසේ නොමැතිව වෙන අයකුගේ ඇඟේ ගසා සත්‍ය වෙනුවට වෙනත් කතා වැමෑරීම ‘ඝාතනය දිගින් දිගටම සිදු කිරීමකි’.

‘අස්වැසුම’ සම්බන්ධයෙන් එල්ල වන බරපතළ විවේචනය හමුවේ, එහි රෙජිස්ටර් වෙන්නට ගොස් ජීවිතය අහිමි වූවකුගේ කතාවක් ද ආරංචි විය. මෙවැනි අර්බුද අතරේ ‘පෝලිමේ මිනිසකු මළා’ යැයි කී විට, වැඩේ තවත් පත්තු වන්නේය. ළඟම උදාහරණය තෙල් පෝලිමය. තෙල් පෝලිමේ සිටියදී වාහනයක් තුළ අයෙක් මළහ. එහෙම මරණ දෙක තුනක් වාර්තා වන විට, තෙල් පෝලිම සඳහා ‘අගය එකතු කිරීමක්’ සිදු වන්නේය. ‘අස්වැසුම’ සඳහා ඇති විරෝධයට, හොඳ බරක් ‘එහෙම පෝලිමක මරණයක්’ සිදු වූ විට එකතු වන්නේය. ඒවා ආණ්ඩු විරෝධය සඳහා ‘සතෙන් සතේ, රුපියලෙන් රුපියල’ එකතු වන්නේය.

‘අස්වැසුම’යනු පරිපූර්ණ සමාජ සහන දීමනාවක් නොවනවා ඇත. මෙවැනි සුබසාධක ව්‍යාපෘති කාලයෙන් කාලයට වෙනස් විය යුත්තේය. අනික දැන් අපි එවැනි ව්‍යාපෘති කරන්නේ, අපිට ඕනෑ ආකාරයට නොවේ. බංකොලොත් රටක් සඳහා ඇත්තේ එක් ඉණිමගකි. ඒ මූල්‍ය අරමුදල පමණය. මූල්‍ය අරමුදල ඉදිරියේ දණ නැවූ විට සහනාධාර සේවා පමණක් නොව, අල්ලස් දූෂණ නීති ආදිය ද අලුතෙන් සැකැසිය යුතුය. අස්වැසුම පිටියට පිවිසෙන්නේ ඒ ආකාරයටය. ‘අස්වැසුම’ලේඛනයේ නම නැති බැවින්, ගස් නැඟ සමහරු විරෝධය පෑහ. සමහරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියේ ‘වැළලෙන්නට’හැදූහ. සමහරු හන්දි ගානේ බෝඩ් ඇල්ලූහ. මේ ආදී විරෝධතා පැමිණියේ සත්‍ය වශයෙන්ම සහනාධාර අවශ්‍ය පිරිසගෙන් නම්, ඒ ගැන සලකා බැලීම ‘අනිවාය’. අස්වැසුම ඉල්ලා ‘ගස් ගිය’ අය අතරේ වාහන කිහිපයක් නිවසේ ඇති, යහමින් මුදල් ඇති වූවෝ ද ඇතැයි පැමිණිලි ගලා එන්නට විය.

සහනාධාර කියන්නේ බුල්ටෝ කෑම වැනි වැඩකි. කන විට ගති වැඩකි. සූප්පා නිම වූ පසු උඩු තල්ල හම ගොසිනි. ඒ කියන්නේ, එක් පාර්ශ්වයක රසයක් උදෙසා සමස්ත සමාජයම තල්ල හම ගසාගෙන යා යුත්තේය. මේ රට වැටුණේ හොරා කාපු එකාලාට වඩා පිනට කාපු එකාලා නිසාය. මේවා දිළිඳු බව නැති කිරීමේ වැඩසටහන් නොවේ. ඡන්ද මැෂින්ය. එහෙම ඒවාට තවදුරටත් ‘ෂොපින් යන්නට’ ගියහොත්, අපට වෙන්නේ බංකොලොත්භාවයේ ගිලී නසින්නටය. අනික සහනාධාර කියන්නේ මාර ටොපියකි. කොටියාගේ “ගිනි පිඹපිය … හොරි කඩපිය…” වගේ වැඩකි. කොටියාට දාසකම් කරන්නට ගොස්, ඌ සනසවා නිමා කරන්නට නොහැකිය. පොඩ්ඩක් හෝ වැඩෙන් එළියට ආවොත් ‘මරාගෙන කන්නට හදන්නේය’.

‘අස්වැසුම’ ලිස්ට් එක දැන් සම්පූර්ණ වනවා ඇත. ඉන් පසු, පසු විපරමට යා යුත්තේය. ගෙදර විදුලි බිල බැලිය යුතුය. බිල එක් සීමාවක් ඉක්මවන්නේ නම්, ඒ පවුල ඇත්තේ දුප්පත් තැනක නොවේ. ඊළඟට දුරකතන සමාගම් මාර්ගයෙන් අදාළ පවුලේ බිල් බැලිය හැකිය. අමතරව වාහන ලියාපදිංචි වැනි දේ බැලිය හැක. ඒ ගැන සොයා බලා ‘අස්වැසුම, බොරු කියා ගත් අයට එරෙහිව කටයුතු කරනවා’ කියා ප්‍රසිද්ධ කළේ නම්, අලුතෙන් සෙවීමක්’ අවශ්‍ය වන්නේ නැත. ප්‍රේමකීර්ති රචනා කළ, ෆ්‍රෙඩී සිල්වා ගයන “…බලා ඉඳින්නට බැරි නම්, කරවටටම දාපියව් තොප්පියක්…” යන පදය අනුව, හෝ ගා ‘බඩු’ එනවා ඇත.

නොලැබුණු බව කියන සෙට් එක වැඩි බැවින්, විරෝධතාවය සැරය. හොරට ගන්න එවුන් අල්ලන්නේ, එකා බැගින් බැවින්, එවිට විරෝධතා නැත. ඒ නිසා මුලින්ම ලබාදී, පසුව හොරු ඇල්ලිය යුතුය. එහෙම නැතිනම් වෙන්නේ “… ගහේ පිපුන මල් සේරම බඹරුන්ටත් දීලා – බලා හිඳී ගසත් ඔහේ සුළඟේ හිනැහීලා…” යැයි මාලනී බුලත්සිංහල ගයන ප්‍රේමකීර්තිගේ පද රටාවට අනුව, රටකට හැසිරෙන්නටය. රටට ලැබෙන සියලු ආදායම් බෙදා දුන්නද, පිරිස අස්වැසුමට නොහැකි වෙනවා ඇත.

මේ රටේ මධ්‍යම පන්තිය, මේ දිනවල මාර බද්දක් විඳවන්නේය. හම්බ කරන එකා එහෙම කට්ටක් කන්නේ, තවත් තියෙන එකෙකුට පිං අඩි ගහන්නට නොවේ. කොවිඩ් දිනවල ග්‍රාම නිලධාරී කාර්යාලය වටා, පන්දාහ ගැනීමට, වාහන පෝලිම් තිබුණේය. ඒ නිසා දන්සල් ආකාරයට, ‘අස්වැසුම’ ලබාදුන හොත්, ඡන්ද මල්ල දිහා බලාගෙන, සහනාධාර බෙදීම සහ පොර කකා ඒ සහන ලබා ගැනීම “රයිගමයාණනි, ගම්පාලයාණනි… කම්මැළිකම ගව්වක් පන්නා…” යැයි, ප්‍රේම් ලියූ ගීතයේ පරිදි රට කිරීමක් බවට පත් වෙනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT