‘තෙසිත් රූ’සොයුරු ඇඟිලි තුඩු බැඳි රූපාවලිය හුදෙක් කොළය, පින්සල, තීන්ත සහ පෑනට සීමා වූ සාම්ප්‍රදායික චිත්‍ර ප්‍රදර්ශනයක්ම නොව, සොයුරු සොයුරියන් තිදෙනකුගේ කුසලතාවයන් එළිදැක්වෙන විවිධාංගීකරණය වූ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයකි. එක මවු කුස ඉපිද එක ලෙයින් පෝෂණය වූ මේ ත්‍රිත්වය විවිධ අංශවලින් තම වෘත්තීය දස්කම් හරහා කලා ලොවේ දිගු ගමනක් යෑමට සැලසුම් කරමින් සිටින සුන්දර චරිත තුනකි. ඔවුන් නමින් ජයමිණි. නිල්මිණි සහ ජගත්ය.
ජයමිණිගේ තෙලිතුඩින් හැඩවුණු පෙර අපර සුසංයෝජන වූ කලා කෘති, නිල්මිණිගේ ගෙත්තමින් හැඩවුණු විස්මිත මැහුම් රටා සහ ජගත්ගේ තෙලි තුඩින් අලංකාරවූ සිතුවම්, පොත් කවර ආදිය “තෙසිත් රූ” ලෙසින් නම් කර තිබේ.
‘තෙසිත් රූ’ වූ කලී, කලක් තිස්සේ මොවුන් තුළ තිබූ සිහිනයක් සැබෑ කරවමින්, මොවුන්ගේ කලා හැකියාවන් කැටි කොට ජනතා අතරට ගෙන ඒමේ සාමූහික ප්‍රයත්නයකි.
ජයමිණි ද සිල්වා දැනට වෘත්තීමය කලා කාරිනියක සහ චිත්‍ර කලා උපදේශිකාවක් ලෙස කටයුතු කරයි. ඇය එක්සත් රාජධානියේ JammiArt ඇකඩමියේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරියයි. ඇය ලොව පුරා සිටින සියලුම වයස් කාණ්ඩා සඳහා සියලු වර්ගවල චිත්‍ර කලා අධ්‍යාපනය ලබා දෙන්නීය. ජයමිණි තම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. ඇය චීනයේ බීජිංහි ලලිත කලා මධ්‍යම ඇකඩමියේ ලලිත කලා පිළිබඳ සිය ප්‍රථම උපාධිය සහ එක්සත් රාජධානියේ නෝර්ත් අම්බ්‍රියා විශ්විද්‍යාලයේ සිතුවම් සංරක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.
ජයමිණි කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා අංශයේ සහකාර කථිකාචාර්යවරියක ලෙසත් ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසත් සේවය කැර ඇත. ඇයගේ කලාකෘති ලොව පුරා පිහිටි ගැලරි, කෞතුකාගාර, පොදු ස්ථාන සහ පෞද්ගලික එකතු කිරීම්වල ස්ථිරව ප්‍රදර්ශනය කෙරේ.
නිල්මිණි ද සිල්වා වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය ප්‍රාථමික අධ්‍යාපනය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ඇත. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිය ලබා ඇති අතර දැනට පේරාදෙණිය දන්ත රෝහලේ ජ්‍යෙෂ්ඨ දන්ත ශල්‍ය වෛද්‍යවරියක් ලෙස සේවය කරයි. ඇය කුඩා කල සිටම කතිර මැහුම් සහ බොබින් ලේස් (බීරලු) සඳහා සමත්කම් පෙන්වූ අතර, ක්‍රමයෙන් තම කුසලතා වෘත්තීය මට්ටම දක්වා වර්ධනය කර ගෙන සිටී.
ජගත් ද සිල්වා, කලාකරුවෙකු, නාට්‍යකරුවකු, නළුවකු සහ නිර්මාණකරුවකු වන අතර ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට දායක වන ඉතා කීර්තිමත් ආයතනයක් වන ආයෝජන මණ්ඩලයේ සේවයෙන් පසු විශ්‍රාම ගෙන සිටී. ජගත් අම්බලන්ගොඩ ඉපිද හැදී වැඩුණු අතර ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ධර්මාශෝක විද්‍යාලයෙනි. ඔහු රුහුණු විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ජගත් සිතුවම් කලාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා නොමැති අතර එයට ඇති ඇල්ම සහ ස්වයං අධ්‍යයනය තුළින් මෙම කුසලතා ප්‍රගුණ කර ගනිමින් සිටී. ඔහු වාර්තා චිත්‍රපටකරණය ද ප්‍රගුණ කර ඇති අතර එම ක්ෂේත්‍රය තුළ ද දස්කම් දක්වා ඇත. “THESITH-RU” තෙසිත් – රූ ප්‍රදර්ශනය අගෝස්තු 4 සිට 6 දක්වා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මහජනතාවට විවෘත වේ. මෙම අපූරු වෙනස්ම ආරක නිර්මාණ දැක්මකි.