කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, 2023 ජූලි 23 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශය තුළ දමිළ ජන සංහාර අනුස්මරණ දිනයක් පිළිබඳව සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කර සිටි.
ශ්‍රී ලංකාවේ සිදු වූ යුද ගැටුම පිළිබඳ ව්‍යාජ, විකෘති තොරතුරු කැනඩාව අඛණ්ඩව සඳහන් කරනුයේ හුදෙක් සිය දේශීය මැතිවරණ ජයග්‍රහණ සාක්ෂාත් කරගැනීම සඳහා අවැසි ඡන්දායකයන් රැස් කරගැනීමේ අරමුණ සහිතව ය. එබැවින්, එය වාර්ගික සංහිඳියාව පිළිබඳ පුළුල් අරමුණුවලට හිතකර නොවන බව අමාත්‍යංශය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මෙන්ම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික උරුමයක් සහිත ප්‍රජාවන් අතර ස්ථාවරත්වය, ප්‍රගතිය, සාමය සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය පළ කරන ලෙස ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.