Monday, April 21, 2025
Home » වැඩි ඈතක නැති ප්‍රගතියේ මාවත

වැඩි ඈතක නැති ප්‍රගතියේ මාවත

by mahesh
July 26, 2023 1:05 am 0 comment

සුගීස්වර සේනාධිර

ඇතැම් මිථ්‍යා දෘෂ්ටික ශ්‍රී ලාංකිකයෝ අංක 9 හෝ 13 අසුබ ලෙස සැලකුවත් ඊට වඩා ජූලි හතට (ජූලි 7) බිය වෙති. රටේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ මුළු ජූලි මාසයම ශ්‍රී ලංකාවට අයහපත් බවයි. මන්ද වසර ගණනාවක් පුරා ජූලි මාසයේදී දේශපාලන හා සමාජීය වශයෙන් හානි කර හෝ වැදගත් සිදුවීම් රාශියක් වාර්තා වීමයි.

මෙරට ඉතිහාසයේ දරුණුතම වාර්ගික ප්‍රචණ්ඩත්වය සිදු වූයේ 1983 දීය. එය කුප්‍රකට ‘කළු ජූලිය’ ලෙස මේ දක්වාම ජනතා සිත් සතන් තුළ පවතින අතර, පාරාදීසයක් වූ දූපතට ‘කඳුළු දූපත’ යන නාමය ලැබුණේය.

දෙමළ විරෝධී කෝලාහල ආරම්භ වූයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ත්‍රස්තවාදී සංවිධානය උතුරේ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟිනි.

කෙසේ වෙතත් පසුව එය දෙමළ ජනයාට එරෙහි වාර්ගික ගැටුමක් ලෙස ව්‍යාප්ත වූයේ සමාජ විරෝධී කණ්ඩායම් නිරායුද දෙමළ ජනතාව ඝාතනය කිරීම, වධ හිංසා කිරීම, කොල්ලකෑම් සහ හිරිහැර කිරීම වැනි දේ ක්‍රියාත්මක වීම තුළය. එහිදී නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් පිරිස් හුදු බලා සිටින්නන් බවට පත්වීමද ගැටලු උග්‍ර වීමට හේතුවක් විය.

කැරලි කෝලාහලවලට වග කිව යුත්තේ අතළොස්සක පිරිසකි. සිංහලයන්ගෙන් අති මහත් බහුතරයක් එම ක්‍රියා හෙළා දුටුවේය. එහෙත්, එම සංසිද්ධි දාමය ශ්‍රී ලංකාව කෙරෙහි ලොව පුරා විශාලතම කළු පැල්ලමක් ගෙන ආවේය. දශක කීපයක් පුරා පවා එම අපරාධයට රටම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් වන්දි ගෙවමින් සිටින බව පෙනෙන්නට තිබේ. 1987 ජූලි 29 වන දින, උතුරු නැඟෙනහිර ඒකාබද්ධ පළාතක් කොට, පළාත්වලට බලය බෙදා හැරීමේ අඩිතාලම දැමීමේ අරමුණින් එවක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන මහත්වරු ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමට රට පුරා විරෝධතා මධ්‍යයේ අත්සන් තැබිණි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය

1931 සිට ශ්‍රී ලංකාව විශ්ව වැඩිහිටි ඡන්ද බලය භුක්ති විඳී. ශ්‍රී ලංකාව, පසුගිය දශක 9 තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු වෙනස් කිරීමට ක්‍රියා කළේය. නමුත්, 2022 ජූලි මාසයේදී අරගලය විරෝධතා ව්‍යාපාරය රට අරාජිකත්වය කරා ගෙන ගියේය. විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමත් සමඟ තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්ව යාමට තීරණය කළේය. ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟම අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ජනාධිපති ලෙස තේරී පත් විය.

ඉන් අනතුරුව එම වසරේ ජූලි 22 වැනිදා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේය. නරක අතට හැරෙමින් පැවැති ආර්ථික අර්බුදයට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට මුහුණ දීමට රජය අපොහොසත් වූ බව විශ්වාස කළ නිසා අරගලයට බොහෝ දෙනාගේ සහාය ලැබුණි. 2022 ජූලි වන විට ශ්‍රී ලංකාව මෙතෙක් පැවැති ගැඹුරුම ආර්ථික හා දේශපාලන අර්බුදයට මුහුණ දෙමින් සිටියේය. දිගුකාලීන විදුලිය ඇනහිටීම්, දිගු පෝලිම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසා ඇති වූ මහජන විරෝධය නිසා විරෝධතා ගම් නගර පුරා පැතිර ගියේය.

රට පුරා පැතිර ගිය විරෝධතා මධ්‍යයේ නීතිය හා සාමය බිඳ වැටෙද්දී රට වේගයෙන් අරාජිකත්වය කරා ගමන් කරමින් තිබුණි.

පළමු සංවත්සරය

කෙසේ වෙතත් අරගලය තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ දුනහොත් ශ්‍රී ලංකාව අරාජික තත්ත්වයකට පත්වනු ඇතැයි එම විරෝධතාවලට අනුකම්පා කළ පිරිස් පවා පසුව සැබවින්ම කනස්සල්ලට පත්ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ පළමු සංවත්සරය මේ සතියේදී සනිටුහන් කෙරුණි. 2022 ජූලි මාසයේ සිදු වූ බලය පැවරීමත් සමඟ අරාජිකත්වය කරා ගමන් කරමින් තිබූ රටේ කඩාවැටීම වැළකුණු බව පොදු පිළිගැනීමක් වී තිබේ.මාස 12ක් ඇතුළත, රජය විසින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත් ක්‍රියා මාර්ග මන්දගාමී, නමුත් ස්ථාවර ප්‍රගතියක් අත්කර ගත්තේය. පළමුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ණය හිමියන් සමඟ සංකීර්ණ සාකච්ඡා පැවැත්වුණි .අනතුරුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) පැකේජයක් සාර්ථකව ජයග්‍රහණය කිරීමට ද රජයට හැකිවිය.

පසුගිය වසරේ ජූලි මාසයේදී ජීවන වියදම් දර්ශක සහ උද්ධමනය සර්වකාලීන ඉහළම අගයකට පැමිණියේය.

දැන් එය ඉදිරි මාසවලදී තවදුරටත් අඩු කිරීමේ අපේක්ෂාවන් සමඟ කළමනාකරණය කළ හැකි සීමාවකට පැමිණ ඇත.

කොවිඩ් වසංගතයේ සහ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස 2019 සිට 2022 දක්වා කර්මාන්තශාලා වැසී යාම සහ කෘෂිකාර්මික අංශයේ පරිහානිය සිදු විය. මේ හේතුවෙන් රැකියා අහිමිවීම් සහ ආදායම් අහිමිවීම් රට දිගුකාලීන අවපාතයකට ඇද වැටෙන බවට ඉඟි පල කළේය. 2022 දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 9 කට ආසන්න ප්‍රමාණයකින් හැකිළුණි. නවතම ඇස්තමේන්තු අනුව මේ වසරේ ආර්ථිකය සියයට 3-4 කින් හැකිලෙනු ඇත. කාර්තු හයක හැකිළීමෙන් පසු ආර්ථිකය මෙම කාර්තුවේ දි නැවත වර්ධනය ආරම්භ වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. බොහෝ විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා ප්‍රකෘතිමත් වීම වේගවත් බව ස්වාධීන ආර්ථික විද්‍යාඥයෝ පවසති.

මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ ප්‍රේෂණ සහ සංචාරක පැමිණීම් ඉහළ යාමයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මූල්‍ය ආධාර ප්‍රවේශය පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධිමත් න්‍යායන් මත බැංකු ක්‍රියා කරන බව සත්‍යයකි. එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආරම්භ කර ඇති පුළුල් වැඩසටහන් ඉදිරි වසර තුළදී ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය

විදේශ විනිමය සංචිත සහ IMFණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් වැඩිදියුණු වීමත් සමඟ පෞද්ගලික ආයෝජකයින්ගේ සහ ණය හිමියන්ගේ විශ්වාසය ද වැඩි විය. බදු වැඩි කිරීම් ගැන ජනතාව සතුටු නොවුණත් අඩුම තරමින් මෙවැනි ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව ජනතාව තේරුම් ගෙන සිටිති. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආචාර්ය දුෂ්නි වීරකෝන් පැවසුවේ ආර්ථික අර්බුදයක් සමහර විට ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණයක උත්ප්‍රේරකයක් විය හැකි නමුත්, දේශපාලන ස්ථාවරත්වය නොමැති විට අවාසි අවදානම සැලකිය යුතු බවයි.

ප්‍රතිසංස්කරණවලින් පාඩු ලබන අයට වන්දි ගෙවීමට රජය සතුව ඇත්තේ ඉතා අඩු සම්පත් ය.

ශ්‍රී ලංකාව විදේශීය වශයෙන් සහ දේශීය වශයෙන් ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කළේය. අනාගතය පිළිබඳව සිතා රජය ගත් ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් ලෙස එය සැලකිය හැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය සහ අභියෝග ක්‍රමයෙන් ජය ගනිමින් සිටිද්දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඔහුට මනා සහයෝගයක් ලබා දුන්නේය. මේ නිසා ව්‍යවස්ථාදායකය හා විධායකය අතර කිසිදු ගැටුමක් හෝ අවහිරතාවයක් සිදු නොවී රජයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හොඳ පිටිවහලක් ඇති කළේය. අගමැතිවරයා ජනාධිපතිවරයාට ශක්තියක් වෙමින් විවිධ රටවල තානාපතිවරුන්, දූත මණ්ඩල, ආයෝජකයන්, වෘත්තීය සමිති නායකයන්, ආගමික නායකයන්, හමුවෙමින්, රටේ ඉදිරි ගමනට නිහඬ පුළුල් සේවාවක් ඉටු කරනු ලැබීය.

අපේ අසල්වැසියා

බොහෝ ආර්ථික විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සෑම දෙයක්ම සැලැස්මට අනුව සිදු වුවද, ආර්ථික තත්ත්වයන්හි සැබෑ දියුණුවක් ශ්‍රී ලාංකික මහජනතාවට දැනෙන්නට තවත් වසර දෙක තුනක් ගත වනු ඇති බවයි. වැටුප් කප්පාදුව සහ ඉහළ බදු හඳුන්වාදීම වැනි හේතු නිසා ඇති වන පීඩනය විදේශයන්හි වඩා හොඳ ජීවන තත්ත්වයන් සෙවීමට බොහෝ දෙනා පොලඹවමින් සිටී.

කෙසේ වෙතත්, රජය බලයට පත් වූ පළමු වසර තුළ ආර්ථිකයේ පරිහානිය නැවැත්වීමේ දුෂ්කරම කාර්යයක් කළමනාකරණය කර එය ස්ථාවර මට්ටමකට ගෙන ආ බවට ලෝක ප්‍රජාව තුළ ද සහතිකයක් තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන්වලට සහය වෙමින් තවදුරටත් ප්‍රගතියේ මාවතට ගෙන යාමට තව තවත් වැඩි දියුණු කිරීම් දැකීමට ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය.

පසුගිය දා චීන තානාපති Qi Zhenhong අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ඉහළ අගය කිරීමක් ප්‍රකාශ කළේය. නික්ම යන ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් පැවසුවේ දරුණුතම ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව වසරක් තුළ ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව තමා බෙහෙවින් පැහැදුණු බවයි.

ආර්ථික ප්‍රකෘතිමත් ප්‍රයත්නයන් සඳහා උපරිම සහයෝගය ලබා දුන් අපගේ අසල්වැසියා වන ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් දක්වන මිත්‍රශීලි ආකල්පය මෑතකදී කෙරුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයන් පැහැදිලිව පෙන්නුම් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT