Home » කොහොමද කෑම

කොහොමද කෑම

by sachintha
July 22, 2023 1:00 am 0 comment

ගිය අවුරුද්දේ මේ වෙලාව වන විට, අරගලය මර ළතෝනි දෙමින් අවසන් විය. එක රැයට සියලු සෙල්ලම් කැන්සල් විය. හැප්පුණේ ‘රෝන් ‍ජෙනරේෂන් එකක් එක්ක’ යැයි කියූ, නංගිලා මල්ලිලා ‘බුදු අම්මෝ අපිට ගහනවෝ’ යැයි බුකියේ ලයිව් දුන්නේ වසරකට පෙර අද වැනි දිනක පාන්දරය. සිරි වෙන්නම නෙළන විට, වැඳ වැඳ දිවූ, නංගිලා මල්ලිලා, දැන් නම් ඒ ‘කෑම’ ගැන කතාවක්වත් නැත. මේ රටේ පාලකයා, වරාය මැද්දෙන් පැන දිවූ පළියට, රාජ්‍ය අත්පත් කර ගැනීම පහසු නැත. එය දේශපාලන යන්ත්‍රණයකි. ගෙවල් නවසීයක් පමණ ගිනි තබා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහ පාරේ මරා දමා, සිදු කළ නොසන්ඩාල කෝලාහලය, එක් රැයකින් අවසන් කළ හැකි නායකයෙක් පිටියේ සිටියේය.

කැරලිකරුවෝ මේ සිද්ධියේදී රනිල් දැක තිබුණේ නැත. පාර්ලිමේන්තුවේ එක් ආසනයක් ඇති මන්ත්‍රී කෙනෙක්, අපිට මොනවා කරන්නදැයි ඔවුහු සිතන්නට ඇත.

තෙල් නැව වරයාට ඇවිත්, සල්ලි දෙනකම් බලා ඉන්නේය. කැබිනෙට්ටුව ප්‍රමුඛ ජනාධිපති නැවට සල්ලි දෙන්නට වටේට කතා කර කර, කීය කීය හෝ එකතු කර ගන්නේය. මිනිස්සු දවස් දෙක තුන තෙල් පෝලිමේය. ‘අරගලය’ දිනා යැයි සිතා ගෝත්‍රික පන්නයෙන්, ලයිට් කණු උඩ කොඩි දමා, හුරේ දමන එක් ගැන්සියකි. බණ්ඩාරනායක පිළිමේ ඇස් වසා, කළු පටි බඳින තව එකෙකි. උඩ නඟින තරමට, විප්ලවීය උණුසුම වැඩිය. රාජ්‍යය යනු අහසේ ඇති යමක් කියා සිතමින්, හැම එකාම උඩ පැත්තට බඩ ගාති. බැරි එකලා, යට සිට ‘අප්පු තාන්’ ගසති.

ඇඳුම් අඩුවෙන තරමට විප්ලවය පළල් වේ. පුංචි කලිසම් කෑලි, ඇඳ සිටින මහත දෙහෙත? මල්ලිලාය. ඒ සියල්ලෝ විසිරී ගිය දිනය අදය. නිරාලා සෙට් එකට ‘බුදු අම්මෝ’ යැයි කෑ ගැසුණේ, මීට වසරකට පෙර අද වැනි දිනක පාන්දරය.

එහෙම බලන විට ඊයේ සහ අද යනු මීට වසරකට පෙර රටේ කතාව වෙනස් කළ දින දෙකකි.

වැඩ බලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන පත් වූවාය. එම තනතුර සඳහා කාන්තාවක් පත් වූ පළමු වතාව එයය. ලොව පළමු රාජ්‍ය නායිකාව බවට සිරිමාවෝ පත් වන්නේ ද ඊයේ වගේ දවසකය. එහෙම බලන විට ඊයේ කාන්තාවන් සඳහා ‘කදිම’ දවසකි. ඒ වගේම මේ දින දෙක තුන, කෑම සඳහා ද නියම දවස්ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මේ ගැන්සියට, නිදහස දුන්නේය. සින්දු කියන ළමයි ලෙස සැහැල්ලුවට ගත්තේය. අන්තිමට ගෙදර ගෑස් සිලින්ඩර් ඉබේ පුපුරන්නට පටන් ගත්තේය.

දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අලළා සිදු වන්නට ගියේ ඒ දෙයය. රෝහල කියන්නේ, ජොලියට නොව අවුලට බර තැනකි. කිසිම ලෙඩෙක් තබා ලෙඩෙක් බලන්න එන අයෙක් වත්, ඉස්පිරිතාලයට හිනා වෙවී යන්නේ නැත. අයාලේ, යාලේ කියා නැත. සමහර විට රෝගීන් මිය යන්නේය. ඒ සියල්ල, ඇමැති කෙහෙළියගේ ඇඟේ සහ ආණ්ඩුව කරේ ගසන්නට දැන් කාලයක පටන් සමහරු පස් කති. සමහර යුනියන්කාරයෝ ඇමැතිට හූනියම් කරන ගාණට ද ඇවිත්ය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පෙරේදා නියම කතාවක් පැවසුවේය. මැරෙන හැම ලෙඩෙක්ම, බෙහෙතකට හෝ එන්නතකට ගොදුරු කරලීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බව ඔහුගේ මතය විය. කතාව ඇත්තය. අවාසනාවට රෝගියෙකු මියගිය හොත්, අන්තිමට දුන්න පෙත්ත හෝ ඉන්ජෙක්ෂන් එක කුමක්දැයි බලා ‘ඔන්න බඩු මාට්ටු, මේ එන්නත අවුල්’ ආදී කතා කියා නැඟලා යන වැඩක් හැදිය හැකිය. මෙහෙම කතාවක් දෙකක් යන විට, මියයන හැම ලෙඩාගේම, අන්තිම පෙත්ත සහ එන්නත ‘බීපු ගමන් – ගහපු ගමන් මැරෙන බඩුය’. ඒවා ගෙන්වන්නේ ඇමැති කෙහෙළියය. එසේ නැත්නම් කවුරු මුලට සිටියත් කෙහෙළිය වැරදිය. මෙහෙම එක් මුසාවකින් පටන් ගන්නා, ප්‍රෝඩාව, අතු ඉති දමා පැළවන්නේය. කමිටු ආදිය මේ සඳහා යෙදූවද එයින් කිසිදු පලක් නැත. කෙහෙළිය අස්විය යුතුමය. අන්තිමට ආණ්ඩුව ද ගෙදර යා යුතුය.

ඉස්පිරිතාලයට ඇතුළු වෙන හැම රෝගියාම සුවසේ නි‍ෙවසට යෑමට කැමතිය. අප සියලු දෙනාම ඒ ගොනුවේය. ඒත් මේ විපක්ෂය බලා සිටින්නේ ‘රෝහලට එන හැම එකාම, පෙට්ටියකින් ගෙදර පල’ කියාය. මල් සාප්පුකාරයෝ හැරුණු කල ‘මරණය’ සඳහා විපක්ෂයද අසීමිතව ප්‍රේම කරන්නේය.

විපක්ෂයේ අනා ගැනීම් එමටය. පක්ෂයේ එකට තබාගෙන තේ එකක් බොන්නට බැරි තරමට අභ්‍යන්තර අවුල්ය. ඒ වුණාට දවසේ ගේම, බයිලයෙන්ම ‘රන් කිරීමට’ මේ ජාතිය හපන්නුය.

මේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි අද ජනතාවට විශ්වාසයක් නැත. මධ්‍යම පන්තිය ඒ සරසවි සඳහා ළමුන් ඇතුළත් කරන්නේ නැත. පාරේ සටන් පාඨ කියා, පොලිසියෙන් බැටන් පහර කන්නට, අප දරුවන් හදන්නේ නැත. දරුවාගේ උසස් අධ්‍යාපනය කියන්නේ, පක්ෂයක දේශපාලන ව්‍යාපෘතියක කොටසක් නොවේ. මේ නිසා සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම දැන් ඇත්තේ අසීරු අඩියකය. ඒ සඳහා පාර කපන ලද්දේ සරසවි වෙත දේශපාලනය සහ ප්‍රචණ්ඩත්වය රැගෙන ගිය පිරිසය.

තව ටික දවසකින් රජයේ රෝහල් සඳහා ද මේ ඉරණම අත් වෙනවා ඇත. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍යයේ මළගම සඳහා මේ පිරිස, ජන මනස සකසන බවය.

අද වගේ දවසක පාන්දර යාමේ කාපු කෑම තව දෙතුන් වතාවක් හෝ ඒ ඒ අයට ලබා දිය යුතුය. එවන් සංග්‍රහයක් නොමැතිව, මේ ගමන යෑමට අමාරු වනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT