පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව නායකත්වයෙන් ඉවත්වීමේ තීරණය සම්බන්ධව තේරීම් කමිටුව සමඟ යළිත් සාකච්ඡා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවසීය. කණ්ඩායමේ නායකත්වයට සමුදෙන්නේ පිතිකරුවෙක් ලෙස පූර්ණ අවධානය යොමු කිරීමට යැයි පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිමුත් කරුණාරත්න පැහැදිලි කළේය.
“නායකත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය බව මා කලින්ම තේරීම් කමිටුවට කීවාම තව ටිකක් ඇදන් යන්න කියලා කිව්වා. නමුත් මේ තරගාවලියෙන් පස්සේ මා කැමැතියි නායකත්වයෙන් ඉවත් වෙන්න. පිතිකරුවෙක් විදිහට පූර්ණ අවධානය යොමු කරන්න මට පුළුවන්. කණ්ඩායමේ නායකත්වයට සුදුසු කිහිප දෙනකුම මා දකිනවා. ඔවුන් හොඳ තැනකට ඇවිත් තියෙනවා. අපිට මීළඟ ටෙස්ට් තරගාවලිය තියෙන්නේ ලබන පෙබරවාරි මාසයේ. ඒ නිසා කල් තියෙනවා අලුත් නායකයෙකු තෝරන්න” දිමුත් කරුණාරත්න පැවසීය.
“රූපවාහිනී පුනරූපණවලට ගොස් දැවී යෑම් පිළිබඳ මා විමසන්නේ කඩුලු රකින්නාගෙන් හා පන්දු යවන්නාගේ අදහස් අරගෙනයි. විකට් එකේ පන්දුව වදිනවාද කියා මා අහනවා. හැම තිස්සේම මට කියන්නේ විකට් එකේ වදිනවා කියා. නමුත් රූපවාහිනී පුනරූපණය බලද්දී පන්දුව කොහේවත් විකට් එක කොහේවත්. එතකොට ඉතින් හිතනවා කැප්ටන් මෝඩයා කියලා. විකට් කීපර් හා පන්දු යවන්නා තමයි කඩුල්ල කෙළින් ඉන්නේ. මේ ගැන වෙනම විදිහට කණ්ඩායම තුළ කතා කරන්න ඕනේ. තියුණු තරගයකදී මේක ලොකු පාඩුවක්”
සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට ස්ථාන දෙකකදී වැරදුන බව නායක දිමුත් කරුණාරත්නගේ මතය විය. පළමු ඉනිමේ දැවැන්ත ලකුණු ගණනක් එක් නොකිරීම හා උඩ පන්දු තුනක් අත්හැරීම එම අවස්ථා බව හෙතෙම පෙන්වා දුන්නේය.
“මුල් ඉනිමේ ලකුණු පුවරුවට විශාල ලකුණු ගණනක් එක් කිරීමට අපට නොහැකි වුණා. ඒකට අපේ මුල් පෙළේ පිතිකරුවන් සියලු දෙනා වගකිවයුතුයි. ධනංජයගේ ලකුණු ටික හැරෙන්න අනෙක් අයගෙන් හොඳ ලකුණු ආවේ නෑ. අනෙක් දේ තමයි ලකුණු 100ට කඩුලු 5ක් බිඳ වැටිලා තිබුණ වේලාවේ පාකිස්තානය හොඳ ලකුණු සම්බන්ධතාවක් ගොඩනැඟුවා. ඒ අතරතුර ඔවුන් උඩ පන්දු තුනක් දුන්නා. ඒවා අල්ලා ගන්න බැරි වුණා. ඒ නිසා ලකුණු 100ක් විතර නවත්ත ගන්න නොහැකි වුණා. මේ කරුණු පරාජයට බලපෑවා” දිමුත් කරුණාරත්න පැවසීය.