Home » ගාලු ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට කඩුලු 4ක ජයක්

ගාලු ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට කඩුලු 4ක ජයක්

by mahesh
July 21, 2023 1:02 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයට කඩුලු 4ක ජයක් හිමිවිණි. මේ ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙරට අතර තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පාකිස්තානය යහපත් ආරම්භයක් ලබා ගත්තේය.

පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයක් ජයගෙන තිබුණේ මීට හරියටම වසරකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී වීම විශේෂත්වයකි. පසුගිය වසරේ ජූලි 20 දා ලැබූ එම ජයග්‍රහණයෙන් පසු පාකිස්තානය ශ්‍රී ලංකාව, එංගලන්තය හා නවසීලන්තය සමඟ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 6කදී තරග 4ක් පරාජය වී තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කොට තිබේ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 312ක් රැස් කළ අතර, පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 461ක් රැස් කළේය. එබැවින් පළමු ඉනිමේ ලකුණු 149ක අවාසිය මැද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලකුණු 279ක් රැස් කළහ. මේ තත්ත්වය මත පාකිස්තාන පිලේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 131කි. ඕවර 32.5කට මුහුණ දුන් පාකිස්තාන පිල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් නොදැවී ලකුණු 50ක් හා අගාර් සලමන් නොදැවී ලකුණු 6ක් ලබා සිටියහ.

පෙරේදා සවස තරගය සිවුවැනි දිනට නතර කරද්දී ලකුණු 48කට කඩුලු 3ක් බිඳවැටී තිබූ පාකිස්තාන දෙවැනි ඉනිම ඊයේ උදෑසන යළි ආරම්භවී පැයකට පමණ පසු ජයග්‍රහණය භුක්ති වින්දේය. එහෙත් බාබර් අසාම් (ලකුණු 24), සවුද් ෂකීල් (ලකුණු 30) හා සෆ්රාස් අහමඩ් (ලකුණු 1) යන තිදෙනා දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් සමත් වූහ.

පාකිස්තාන පළමු ඉනිමේ නොදැවී ලකුණු 208ක් ලබාගත් සවුද් ෂාකීල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, හයේ පහර 5ක් හා හතරේ පහර 22ක් එල්ල කිරීම වෙනුවෙන් ධනංජය ද සිල්වාට සුපිරි ක්‍රීඩක විශේෂ තිළිණයක් පිරිනැමුණි.

නොදැවී ලකුණු 208ක් වාර්තා කළ සවුද් ෂකීල් අත දිගහැර පහර දෙන්නට සැරසෙද්දී ලබා දුන් උඩ පන්දු දෙකක්ම අත්හැරීම ශ්‍රී ලංකා පරාජයට එක් හේතුවක් විය. කණ්ඩායම් දෙකම එක හා සමානව ක්‍රීඩා කළ ද පාකිස්තානය උඩ පන්දු රැකීමේදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියේය. පාකිස්තානයේ පන්දු රැකීම තියුණු මුහුණුවරක් ගත් අතර, ඔවුන් එම අංශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බව පෙනේ.

ලකුණු 93ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස් එවූ පන්දුවකට සවුද් ෂකීල් ‘ෂෝට් ලෙග්’ වෙත දුන් උඩ පන්දුව අල්ලා ගැනීමට නිශාන් මධුෂ්කට නොහැකි වූ අතර, ලකුණු 139ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරිය විසින් සවුද් ශකීල්ට එවූ පන්දුවකට ‘ඩීප් මිඩ්විකට්’ දෙසට එල්ල කළ පහසු උඩ පන්දුව හතරේ සීමාව අසලදී මැතිව්ස් අතින් ගිලිහී යෑම ශ්‍රී ලංකා පිලට අවාසිදායක විය. මේ උඩ පන්දු දෙක පළමු ඉනිමේ ශ්‍රී ලංකාවට වඩා පාකිස්තානය ගොඩනැඟූ ලකුණු 149ක පරතරයට තීරණාත්මක වූ බව පෙනේ.

මේ තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යුගලය වූ ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් ගාලු තණතිල්ල තුළ පමණක් ටෙස්ට් කඩුලු 50කට වඩා වාර්තා කිරීමට සමත් වූහ. රමේෂ් මෙන්ඩිස් ගාලු තණතිල්ලේ කඩුලු 56ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 53ක් දවා ගැනීමට සමත්ව සිටිති. ගාලු තණතිල්ලේ මුත්තයියා මුරලිදරන් කඩුලු 111ක්, රංගන හේරත් කඩුලු 102ක් හා දිල්රුවන් පෙරේරා කඩුලු 57ක් බිඳ හෙළා ඉදිරියෙන් සිටිති.

දෙරට අතර දෙවැනි හෙවත් මේ තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ලබන සඳුදා ( 24) කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT