Home » කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් 300ක් පුහුණු කිරීමට යයි

කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් 300ක් පුහුණු කිරීමට යයි

by mahesh
July 21, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ සහල් ක්ෂේත්‍රය නංවාලීම සඳහා යුරෝපා සංගමයේ අරමුදල් ලත් ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් 300 දෙනෙකු පුහුණු කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය (MASL) සමඟ සහයෝගයෙන්, 2021- 2022 දී අඛණ්ඩව කන්න දෙකක දුර්වල අස්වැන්න හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට ඇතිවූ තර්ජනයට පිළියම් යෙදීම පිණිස, යුරෝපා සංගමයේ (EU) අරමුදල්වල සහාය ඇතිව තීරණාත්මක පියවර ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

2022දී වී නිෂ්පාදනයේ සියයට 40කට ආසන්න පහත වැටීමක් සමඟ ශ්‍රී ලංකාවේ සහල් ආශ්‍රිත පරිසර පද්ධතිය අවදානමට ලක්විය හැකි අතර, කඩිනම් අවධානයක් අවශ්‍ය වේ. මේ ගැටලුව මැඬලීමට FAO විසින් යුරෝපීය සංගමයෙන් (EU) යුරෝ මිලියන 4ක අරමුදල් ඇතිව Rice UP නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන අතර, මේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස, FAO සහ එහි හවුල්කරුවන් විසින් දිස්ත්‍රික්ක හතරක: (අම්පාර, බදුල්ල, හම්බන්තොට සහ පොළොන්නරුව) කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් (AEOs) සඳහා ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය (IPNM) පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වයි.

AEOවරුන් (කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්) IPNM පිළිබඳව පුහුණු කිරීම මඟින් ඔවුන්ගේ අසුල දිස්ත්‍රික්කවල වී ගොවීන් සමඟ කෘෂිකර්මාන්තයේ යහ භාවිතය බෙදා ගැනීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කෙරේ. මේ නිලධාරීන්, පාංශු කළමනාකරණය සහ රසායනික යැපීම අඩුකරමින් භෝග අස්වැන්න ඉහළ නැංවීම සඳහා කාබනික සහ රසායනික පොහොර ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන IPNM භාවිතයන් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සපයනු ලබන ගොවීන්හට මූලික වශයෙන් සම්බන්ධ විය හැකි ස්ථානය ලෙස කටයුතු කරයි.

කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් (AEOs) සඳහා IPNM භාවිතයන් පිළිබඳ මූලික පුහුණු සැසිය බතලේගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී ආරම්භ විය. තෝරාගත් දිස්ත්‍රික්කවලින් AEOවරුන් 300ක් පුහුණු කිරීම ඉලක්ක කර ගනිමින් මේ සැසිය පුහුණු වැඩසටහන් පහකින් යුත් සැසි මාලාවක ආරම්භය සනිටුහන් කරයි. ජාත්‍යන්තර සහ ජාතික උපදේශකවරුන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, MASL සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් සකස් කරන ලද පුහුණු අත්පොත මේ පුහුණු සැසිවල අත්තිවාරම ලෙස ක්‍රියා කරයි.

IPNM යනු පසේ ගුණාත්මක බව සහතික කරන, හායනය වළක්වන සහ පරිසරය ආරක්ෂා කරමින් භෝග ඵලදායිතාව උපරිමය දක්වා ගෙන එන තිරසර භූමි කළමනාකරණ පිළිවෙතකි. FAO විසින් IPNM හඳුන්වාදීමත්, ඒ සමඟම තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩා වතුහිමියන්ට යූරියා පොහොර ලබාදීමත්, අත්‍යවශ්‍ය පොහොර සපයා ගැනීමේදී සහ ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීමේදී කුඩාවතු ගොවීන් මුහුණදෙන අභියෝගවලට පිළියමකි. IPNM වෙත යොමුවීමෙන් සහ යූරියා පොහොර වෙත යොමුවීමෙන්, කුඩා වී ගොවීන්ට පිරිවැය අඩුකර ඵලදායිතාව වැඩි දියුණු කරගත හැකිවන අතර, එමඟින් වඩාත් හොඳින් ලාභ ඉපැයීමටත් හදිසි තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව උදාවේ.

පොහොර සහ ගුණාත්මක බීජ සුරක්ෂිත හා කාර්යක්ෂම භාවිතය ඇතුළු තිරසර කෘෂි පිළිවෙත් ක්‍රියාවට නැංවීමෙන් RiceUP, ශ්‍රී ලංකාවේ වී ගොවිතැන් ක්ෂේත්‍රයේ ඵලදායිතාව, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපායන් ඉහළ නැංවීම අරමුණු කරයි. FAO සිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දිගුකාලීන තිරසාරභාවය සහ ප්‍රත්‍යස්ථිතිය සහතික කිරීමට කැප වී සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT