සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු මේ වසරේ රටින් ගේන්න අවශ්‍යතාවක් නැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
සහල් සහ අනිකුත් ආහාර භෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට දුන් වාර්තාවකින් මේ බැව් තහවුරු කර තිබේ.
2021 රසායනික පොහොර තහනමත් සමඟ ඇති වූ වී ඇතුළු අනෙකුත් දේශීය ආහාර භෝග නිෂ්පාදනයන්හි කඩාවැටීම නිසා 2022 වසරේදී ඩොලර් මිලියන 400ක් වැය කර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ලැබීය. අනෙකුත් ආහාර භෝග ද ඒ අන්දමින්ම ආනයනය කිරීමට සිදුවිය.
නමුත් 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට ගත් පියවරත් සමඟ සහල් ඇතුළු අනෙකුත් ආහාර භෝගවලින් මේ වන විට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇත. ඒ අනුව 2023 වසරේ මේ වන තෙක් සහල් ආනයනය කිරීමට රජයට සිදු නොවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති විය හැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ. මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. පසුගිය මහ කන්නය මේ යල කන්නයේ අස්වැන්න සමඟ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකි වේ. ඒ අනුව මේ වසරේ නැවත මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇමැතිවරයා වෙත ලබා දුන් වාර්තාවේ සඳහන්ය.
මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000කි. මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුළුල් ලෙස මුං ඇට වගාව ආරම්භ කර ඇති අතර, අතරමැදි කන්නයේ දිස්ත්‍රික් කීපයක මුං ඇට වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී තිබේ. මේ වසරේ මුං ඇට මෙට්‍රික් ටොන් 13439ක අස්වැන්නක් ලැබී තිබේ. එමෙන්ම මෙරට කව්පි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 15,000කි. මේ වසරේ මෙරට කව්පි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13,740ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.
මෙරට වාර්ෂික උඳු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000කි. 2023 වසරේ උඳු අස්වැන්න මෙ. ටො. 17,866කි. මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙ. ටො. 35,000කි. මේ වසරේ මේ වන විට රටකජු අස්වැන්න මෙ. ටො. 36,498කි.එමෙන්ම වාර්ෂික කුරක්කන් අවශ්‍යතාව මෙ. ටො. 10,000කි. මේ වසරේ කුරක්කන් අස්වැන්න මෙ. ටො. 6408කි. මේ නිසා මේ වසරේ අපේ රට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු හා රටකජුවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මේ වසරේ ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
මේ අතර මේ යල කන්නයේ අස්වනු නෙළා ගැනීමෙන් අනතුරුව වගා කෙරෙන අතරමැදි කන්නයේ හැකිතාක් අතිරේක භෝග වගාවට ප්‍රමුඛත්වය දෙමින් මුං ඇට, කව්පි හා උඳු වගා කිරීමට ගොවීන් උනන්දු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.