ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සහ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත කෙරුණි.
යෝජනාවට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 24 ක් පමණි.
කෙසේ වුවද විවාදය සදහා ඝණ පූර්ණය නොමැති බවට විපක්ෂය චෝදනා කිරීමත් සමග අවස්ථා දෙකකදී මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව නාද කිරීමට සිදු විය.
මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සහ දැනට මහ බැංකුව විසින් ස්ථාපිත කර ඇති මුදල් නීති පනත ඉවත් කිරීම ඇතුළු අතිරේක කරුණු සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත 2023 මාර්තු 07 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
නව පනත් කෙටුම්පතට අනුව, මහ බැංකුවේ ස්වාධිපත්‍යයට සෑම විටම ගරු කළ යුතු අතර, මහ බැංකු අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන්ට හෝ මහ බැංකුවේ සේවකයන්ට මෙම පනත යටතේ ඇති බලතල, රාජකාරි සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී සහ ඉටු කිරීමේදී කිසිදු පුද්ගලයෙකු හෝ ආයතනයක් කිසිදු බලපෑමක් සිදු නොකළ යුතුය.
එපමනක් නොව, දේශීය මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගැනීම මහ බැංකුවේ මූලික අරමුණ විය යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මීට අමතරව, මහ බැංකුවේ පරිපාලනය සහ කටයුතු කළමනාකරණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය හැර මහ බැංකුවේ සාමාන්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා ‘අධිපති මණ්ඩලයක්’ පිහිටුවනු ලැබේ. එහි සභාපතිවරයා මහ බැංකු අධිපතිවරයා වන අතර විශේෂඥ දැනුම ඇති සාමාජිකයින් හය දෙනෙකු ඊට පත් කරනු ලැබේ.